විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සාර්ක් අමාත්‍ය මණ්ඩලයේ නිල නොලත් රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සාර්ක් අමාත්‍ය මණ්ඩලයේ නිල නොලත් රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලයි

2020 සැප්තැම්බර් 24 දින පැවති අට සාමාජික දකුණු ආසියානු කළාපීය සහයෝගීතා සංගමයේ (SAARC) නිල නොලත් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන ලද්දේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. නිව්යෝර්ක් හි පවත්වනු ලබන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමට සමගාමීව සම්ප්‍රදායානුකූලව පවත්වන මෙම වාර්ෂික රැස්වීම, කොවිඩ් 19 වසංගතය හමුවේ මෙම වසරේදී මාර්ගගතව ස්වරූපයකින් කැදවන ලදී.

මෙම වසරේදී දකුණු ආසියානු ආර්ථිකයන් 4.8%කින් සංකෝචනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරන හෙයින් කොවිඩ් වසංගතයෙන් එල්ලවන අයහපත් බලපෑම අඩුකිරීම සඳහා සම්බන්ධීකරණය කරන ලද හා සහයෝගීතා වැඩපිළිවෙලක් අවශ්‍ය වන බව අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම නිළ නොලත් රැස්වීමේ දී අවධාරණය කළේය. දකුණු ආසියාවේ ආර්ථික අනාගතය සංශෝධනය කිරීම, කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්වූ ශ්‍රම බලකාය සඳහා රැකියා සෙවීම, නිෂ්පාදනය වැඩිකරන අතරවාරයේ ව්‍යාපාර යළිත් පනගැන්වීම යන ඒවායේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” නම් ජාතික ප්‍රතිපත්ති රාමුව මගින් කළාපීය සහයෝගීතාව පවත්වාගැනීම සඳහා ආසියානු අසල්වාසි රටවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් නොබැදි, මධ්‍යස්ථ හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපේක්ෂා කරන බව අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කළේය. ආර්ථික සංවර්ධනයේ දී සහ සමෘද්ධිය ළඟාකර ගැනීමේදී උත්ප්‍රේරකයක් වශයෙන් සාර්ක් සංවිධානයට කටයුතු කිරීමට හැකියාවක් තිබේ. මහජන සෞඛ්‍ය, දිළිදු භාවය තුරන් කිරීම, කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතභාවය, පරිසරය, අධ්‍යාපනය සහ පුද්ගලාන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීම වැනි සැහැල්ලු ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගීතාව පුළුල් කළ යුතු බව එතුමා තව දුරටත් ප්‍රකාශ කළේය.

නේපාලයේ විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ගයවලී මහතා විසින් සභාපතිත්වය උසුලන ලද මෙම රැස්වීම සඳහා කත්මණ්ඩුහි සාර්ක් මහ ලේකම් කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. අභිනවයෙන් පත්කරන ලද සාර්ක් සංවිධානයේ මහ ලේකම් ඇසල වීරකෝන් මහතා ද මෙම නිල නොලත් රැස්වීම ඇමතුවේය. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ මෙම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමන්විත විය.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 සැප්තැම්බර් 24

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close