සයුරේ දී මුදාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 152 දෙනෙකු සියරට පැමිණවීම

 සයුරේ දී මුදාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 152 දෙනෙකු සියරට පැමිණවීම

2022 නොවැම්බර් 8 වැනි දින වියට්නාම වෙරළට ඔබ්බෙන් යාත්‍රාවක් පෙරළීම හේතුවෙන් අනතුරට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 152 දෙනෙකු ඉන් මුදාගැනීමෙන් අනතුරුව, 2022 දෙසැම්බර් 27 වැනි දින වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිට වරලත් ගුවන් යානයක් මඟින් ඔවුන් ස්වේච්ඡාවෙන් සහ මානුෂීය ක්‍රමවේද යටතේ සියරට පැමිණවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් පහසුකම් සලසන ලදී.

“අක්‍රමවත් සංක්‍රමණ පිළිබඳ ගැටළුව විසඳීම සඳහා බහු ආයතනික ප්‍රයත්නයක් අවශ්‍ය වේ. සියරට පැමිණවීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් IOM සංවිධානය විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය ප්‍රශංසාව පුද කරන බවත්, මෙය ශ්‍රී ලංකා රජය, වියට්නාම රජය, හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ, හැනෝයි සහ ඝානාවේ පිහිටි IOM  නියෝජිත කාර්යාලවල කණ්ඩායම් ක්‍රියාකාරිත්වය විදහා දක්වන කදිම උදාහරණයක් බවත්,” IOM හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කාර්යාලයේ ප්‍රධානී සරත් ඩෑෂ් මහතා ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සහ සිංගප්පූරුවේ පිහිටි කලාපීය සමුද්‍රීය මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණ මධ්‍යස්ථාන (MRCC) සමඟ එක්ව, සංක්‍රමණිකයන් මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කළේ ය. වුන්ග් ටාඕ නගරයේ පිහිටි වියට්නාම හමුදා නවාතැන්පොළවල් තුනක් තුළ සංක්‍රමණිකයන් 302 දෙනෙකු සඳහා 2022 නොවැම්බර් 8 වැනි දින සිට නවාතැන් පහසුකම් සපයා දී ඇත.

IOM සංවිධානය වියට්නාම රජය සහ හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මසකට අධික කාලයක් මුළුල්ලේ පටන් සියලුම සංක්‍රමණිකයන් සඳහා ආහාර, වෛද්‍ය ආධාර, සනීපාරක්ෂක කට්ටල සහ උපදේශන සහය ඇතුළු මූලික අවශ්‍යතා ලබා දීමට කටයුතු කළේ ය. IOM සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ආරක්‍ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් IOM සංවිධානයේ වියට්නාම නියෝජිත කාර්යාලය සමඟ එක්ව මුදාගත් සියලුම සංක්‍රමණිකයන්ගේ සුරක්ෂිත බව පරීක්‍ෂා කිරීම් / අවදානම් තක්සේරු කිරීම් සිදු කිරීම සඳහා වියට්නාමයට පැමිණිය හ. හෝ චි මින් නගරයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ සංක්‍රමණිකයන්ට අවශ්‍ය මූලික කොන්සියුලර් සහ, අත්‍යවශ්‍ය ආහාර, භාවිතයෙන් පසු ඉවතලන අනෙකුත් ද්‍රව්‍ය සහ දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා පහසුකම් සැපයුවේ ය.

සයුරේ දී අනතුරට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 302 දෙනා මුදාගැනීමෙන් අනතුරුව ඔවුන් සියරට පැමිණවීමේ කටයුතු ශ්‍රී ලංකා පාර්ශ්වය මඟින් සිදු කෙරෙන අතරතුර එම සංක්‍රමණිකයන්ට  මසකට අධික කාලයක් මුළුල්ලේ ආරක්ෂිත ස්ථානයක් ලබා දීම සහ උපකාර කිරීම සඳහා වියට්නාම රජය පළ කළ කැමැත්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ IOM සංවිධානයේ පැසසුමට ලක් වේ.

සංක්‍රමණිකයන් ගැටළුවකින් තොරව සහ ආරක්ෂිතව සියරට පැමිණවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය 2022 දෙසැම්බර් 2 වැනි දින රාජ්‍ය ආයතනවල නියෝජිතයන් සහ IOM හි පාර්ශ්වකරුවන් සමඟ හමුවක් පැවැත්වී ය.

මුදාගත් සංක්‍රමණිකයන් 152 දෙනෙකු සියරට පැමිණවීම සඳහා IOM සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ ගුවන් යානය පිළිබඳ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන්, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ වියට්නාම බලධාරීන් සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණය කරන ලදී.

අනතුරට පත් වූ සංක්‍රමණිකයන්ගේ කඩිනම් අවශ්‍යතා සපුරාලීම, විශේෂ වරලත් ගුවන් යානයක් හරහා ඔවුන් සියරට පැමිණවීම, ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාම සහ ඔවුන් ඵලදායී ලෙස සමාජගත කිරීමට සහය වීම  සඳහා  IOM සංවිධානය ලබා දෙන ආධාරවල එකතුව ඇමරිකානු ඩොලර් 600,000 ඉක්මවයි.

අක්‍රමවත් ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කරන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සියරට පැමිණවීම සහ ඔවුන් නැවත සමාජගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් IOM සංවිධානය දක්වන නොමසුරු සහය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා  එම සංවිධානය වෙත සිය ස්තුතිය පුද  කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 දෙසැම්බර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close