ශ්‍රී ලංකාව තායිලන්ත රාජධානියේ ජාතික සභාව විසින් පවත්වනු ලබන “අයුත්තයා හි විදේශ සබඳතා යළි පුබුදුවාළීම” වැඩසටහන සඳහා සහභාගී වේ

ශ්‍රී ලංකාව තායිලන්ත රාජධානියේ ජාතික සභාව විසින් පවත්වනු ලබන “අයුත්තයා හි විදේශ සබඳතා යළි පුබුදුවාළීම” වැඩසටහන සඳහා සහභාගී වේ

තායිලන්ත රාජධානියේ ජාතික සභාවේ රාජාණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ සෙනෙට් කමිටුවේ සභාපති සහ විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ සභාපති මෑතකදී සිදු කළ ආරාධනාවකට අනුව,  ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි කොළොන්නේ මැතිනිය සහ එතුමියගේ ස්වාමි පුරුෂයා වන ස්ටීවන් සේනානායක මහතා තායිලන්තයේ ෆ්‍රා නක්හොන් සි අයුත්තයා පළාතේ ඓතිහාසික අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවති "අයුත්තයා හි විදේශ සබඳතා යළි පුබුදුවාළීම" නමැති වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.ඉරානය, ඉන්දුනීසියාව, වියට්නාමය, ඉන්දියාව, චීනය සහ ජපානය යනාදී වශයෙන් අයුත්තයා සමඟ ඓතිහාසික සබඳතා පවත්වන තවත් රටවල් හයක තානාපතිවරු සහ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ තානාපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්/ස්වාමි පුරුෂයන් ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති, ෆ්‍රා නක්හොන් සි අයුත්තයා පළාතේ ආණ්ඩුකාරයා, ෆ්‍රා නක්හොන් සි අයුත්තයා රාජභාත් විශ්වවිද්‍යාලයේ සභාපති සහ සෙනෙට් සභික විතායා පිව්පොන්ග් මහතා විසින් පිළිගන්නා ලදී. ආරම්භක ප්‍රකාශ ඉදිරිපත් කළ රාජාණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳ සෙනෙට් කමිටුවේ සභාපති සෙනෙට් සභික සුවෆාන් තන්යුවර්ධන මහතා සහ සෙනෙට් සභාවේ සභාපති මහාචාර්ය පෝර්න්පෙච් විචිචොල්චායි මහතා අයුත්තයා හි ඓතිහාසික ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අවධාරණය කළහ.

තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය, මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා කුටියේ දී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සබඳතා පිළිබඳව විස්තර කළා ය.

විශේෂයෙන් සියවස් හතක් මුළුල්ලේ ආගම, කලාව සහ සංස්කෘතිය ඔස්සේ විහිදුණු සුහද සබඳතා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතී. තායිලන්තයේ අයුත්තයා සහ ශ්‍රී ලංකාවේ මහනුවර මෙම ඓතිහාසික සබඳතාවල කේන්ද්‍රස්ථාන වේ. මෙම රටවල් දෙක ඉතිහාසය පුරාවට තීරණාත්මක අවස්ථාවන්හි දී එකිනෙකාට සහයෝගය දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට බුදු දහම දෙරට අතර ස්ථිර ලෙස ස්ථාපිත වී ඇත.

අයුත්‍තයා සමඟ ඓතිහාසික සබඳතා පවත්වන රටවල් හතම තම ජාතික අනන්‍යතාව නිරූපණය වන සිහිවටන විදහා දක්වමින් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ නිෂ්පාදන සහ ජාතික ශිල්ප සභාවේ කලා කෘති ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය තුළ ප්‍රදර්ශනය කරන ලද අතර එම ප්‍රදර්ශන කුටියට පැමිණි අමුත්තන්ට ලංකා තේ ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 දෙසැම්බර් 28 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close