විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීමට උත්සාහ දරයි

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීමට උත්සාහ දරයි

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා උත්සාහ දරා ඇත. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ 2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මැතිතුමා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය. විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, තානාපති කේනේස් මැතිතුමා පිළිගනිමින්, බ්‍රසීලය සමඟ ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම පිළිබඳව සඳහන් කළේය.

මෙම හමුවේ දී, අමාත්‍ය පීරිස් මැතිතුමා සහ තානාපති කේනේස් මැතිතුමා යන දෙදෙනාම දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණ සහ දකුණු-දකුණු සහයෝගිතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව පොදු මතයක් කරා ලඟා වීමට කටයුතු කිරීම සඳහා එකඟ වූහ. ශ්‍රී ලංකාවේ දිගු කාලීන නොබැඳි සම්ප්‍රදායේ පසුබිම තුළ, බ්‍රසීලය සහ සමස්ත දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපය සමඟ ශක්තිමත් සබඳතා ප්‍රාණවත් කර ගැනීමට විදේශ අමාත්‍යවරයා උනන්දු විය.

දෙරට අතර පවතින ගවේෂණය නොකළ වෙළඳ හැකියාවන් අවධාරණය කරමින්, තේ, කුළුබඩු සහ වටිනා හා අර්ධ වටිනා මැණික් වැනි අව්‍යාජ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා බ්‍රසීලයේ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා විස්තර කළේය. බ්‍රසීලියානු සංචාරකයින් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස සක්‍රීයව ප්‍රවර්‍ධනය කරන ලෙස ද එතුමා තානාපති කේනේස් මැතිතුමාට ආරාධනා කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close