රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි සංචාරක ක්‍රියාකරුවන් සඳහා “Hello Again Sri Lanka” දැනුවත් කිරීමේ වෙබිනාර් සාකච්ඡාවක් පවත්වයි

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සෞදි සංචාරක ක්‍රියාකරුවන් සඳහා “Hello Again Sri Lanka” දැනුවත් කිරීමේ වෙබිනාර් සාකච්ඡාවක් පවත්වයි

සෞදි අරාබි රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2021 අගෝස්තු 28 වැනි දින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලයේ ද සහය ඇතිව, සෞදි අරාබි රාජධානියේ (KSA) බාහිර සංචාරක ක්‍රියාකරුවන් දැනුවත් කිරීම සඳහා වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය. රියාද්, දමාම් සහ ජෙඩා ඇතුළු සෞදි අරාබි රාජධානියේ නගර කිහිපයක ක්‍රියාත්මක වන සංචාරක සමාගම් සහ බාහිර සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිතයෝ 90 දෙනෙක් පමණ මෙම වෙබිනාර් සාකච්ඡාවට සහභාගී වූහ.

සිය පිළිගැනීමේ කතාවේදී, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) පී. එම්. අම්සා මහතා, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර ඇති ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව විස්තර කළේය. “ඔබගේ මීළඟ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගනු දැකීමට මම කැමැත්තෙමි. සොබා සෞන්දර්යය, සංස්කෘතිය, දේශ ගවේෂණය වැනි ඔබ අපේක්ෂා කරන සියලු දේම ලබා දෙන ස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි.” අම්සා මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන ඉදිරිපත් කිරීමේදී, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ මධුභානි පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ උපාය මාර්ග සහ වර්තමානයේ දී සංචාරකයන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව විස්තර කළා ය. සෞදි අරාබි රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පිරිස් වැඩි කරගැනීම සඳහා දැනට ගෙන ඇති පියවර මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා අනාගතයේ දී සිදුකිරීමට නියමිත ක්‍රියාකාරකම් පිළිබඳව ද ඇය අදහස් දැක්වූවා ය.

පිරිස ඇමතූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ (අලෙවි) දුෂාන් වික්‍රමසූරිය මහතා, ශ්‍රී ලංකාවෙන් පිරිනැමෙන ආගන්තුක සත්කාර, සොබා සෞන්දර්යය,  සංස්කෘතිය සහ සූපවේදය අගයමින් ශ්‍රී ලංකාව තම හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස සලකන සෞදි අරාබි සංචාරකයන්ගේ ධනාත්මක උද්‍යෝගය පිළිබඳව විස්තර කළේ ය. කොවිඩ් වසංගතය නිම වූ පසුව මෙරටට පැමිණීමට බලා සිටින සෞදි අරාබි සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා දෙරට අතර පවතින පහසු ගුවන් ගමන් සම්බන්ධතාවය ද ඉවහල් වනු ඇතැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) කමිටු සාමාජික නාලක අමරතුංග මහතා, ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) ප්‍රධාන විධායක නිලධාරිනී අමල් ගුණතිලක මහත්මිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංචාරක සංගමයේ (ASMET) සාමාජික දිනේෂ් පතිරණ මහතා, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පූර්ණ සුරක්ෂිතභාවය තහවුරු කොට සෞදි අරාබි සංචාරකයන්ව මෙරටට ගෙන්වා ඔවුන්ට උපරිම පහසුකම් සලසා දීමට සංචාරක කර්මාන්තය තුළ ඇති සූදානම පිළිබඳව විස්තර කළහ.

සෞදි  බාහිර සංචාරක ක්‍රියාකරුවන් නියෝජනය කළ සෞදි අරාබියේ Arjaa Travels and Tourism හි නිවාඩු සහ MICE වැඩසටහන් ප්‍රධානී හුසාම් හරීරි මහතා, ශ්‍රී ලංකාවට ළඟා විම සඳහා සෞදි අරාබි සංචාරකයන්ට ඇති ගුවන් සේවා අවස්ථා, සෞදි අරාබි රාජධානියේ ඉලක්කගත සංචාරකයන් සහ වීසා පහසුකම් පිළිබඳව විස්තර කළේ ය. එමෙන්ම, සෞදි ජාතිකයන්ට සහ සෞදි රාජධානියේ වෙසෙන අනෙකුත් විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා සිය සහයෝගය ලබා දෙන බව ද හරීරි මහතා දන්වා සිටියේ ය.

තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී දුල්මිත් වරුණ මහතා අවසන් කිරීමේ දේශනය සිදු කළ අතර, අමාත්‍ය (වාණිජ) සංජීව පට්ටිවිල මහතා සාකච්ඡාව මෙහෙයවීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 සැප්තැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close