ආර්ථික සහයෝගීතාව සවිබල ගැන්වීම සඳහා වන සහජීවනය ගවේෂණය කිරීම: 30 වැනි මින්දනාඕ ව්‍යාපාරික සමුළුවේ දී ශ්‍රී ලංකාව පිළිබඳව විදහා දැක්වේ

ආර්ථික සහයෝගීතාව සවිබල ගැන්වීම සඳහා වන සහජීවනය ගවේෂණය කිරීම: 30 වැනි මින්දනාඕ ව්‍යාපාරික සමුළුවේ දී ශ්‍රී ලංකාව පිළිබඳව විදහා දැක්වේ

පිලිපීනයේ විශාලතම ව්‍යාපාර සහයෝගිතා සංවිධානය වන පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඇරයුමකට අනුව, 2021 සැප්තැම්බර් 23-24 දිනවල Zoom සහ Facebook Live තාක්ෂණය ඔස්සේ අතථ්‍ය හමුවක් ලෙස පැවති 30 වැනි මින්දනාඕ ව්‍යාපාර සමුළුවේ ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වූ තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය එහි පළමු දිනයේ දී ඉදිරිපත් කිරීමක් සිදු කළා ය.

සමුළුවේ ජාත්‍යන්තර වෙළඳාම සහ සහයෝගීතාව අංගය යටතේ සිදු කළ මෙම සවිස්තර ඉදිරිපත් කිරීම තුළින්, ශ්‍රී ලංකාව සහ මින්දනාඕ අතර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා පවතින ශක්‍යතා පිළිබඳව විදහා දැක්විණ.

තානාපති ගුණසේකර මැතිනිය, දෙරට අතර පවතින දිගු කාලීන සබඳතා, අනුපූරක ශක්තීන් සහ සමානතා සැලකිල්ලට ගනිමින්, ඒකාබද්ධ වාණිජමය කටයුතු, හවුල්කාරීත්ව සහ විශේෂයෙන්  කෘෂිකර්මය, ආහාර සැකසීම, තොරතුරු තාක්ෂණය, සැපයුම්, පතල් කැණීම, අධ්‍යාපනය ආදී අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කටයුතු රාශියක් සඳහා ශ්‍රී ලංකාව සමඟ වෙළඳ හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙස මින්දනාඕ හි ව්‍යාපාර අංශය දිරිගැන්වූවා ය.

තවද, නුදුරු අනාගතයේදී විවෘත කිරීමට නියමිත කොළඹ මූල්‍ය නගරයේ පවතින ආයෝජන අවස්ථා ගෙනහැර දැක්වූ තානාපතිවරිය, පිලිපීන සංචාරකයන් සඳහා වසංගතයේ ආතතිය දුරුකරන සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සංචාරක ක්ෂේත්‍රය ගෙන ඇති පියවර පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළා ය.

“වෙනස් වන කාලය, මින්දනාඕ හි අභියෝගාත්මක භූමිකා” යන තේමාව යටතේ සංවිධානය වූ 30 වැනි මින්දනාඕ ව්‍යාපාරික සමුළුව, මින්දනාඕ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ පාන බරපතල ගැටළු මෙන්ම පවතින වාතාවරණය හමුවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විසඳුම් සෙවීම යන කරුණු අරමුණු කරගනිමින් පැවැත්විණි. මෙම වර්ෂයේ සමුළුව, ජනරාල් සැන්ටෝස් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ඊට හවුල් වූ  සරංගනී වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ දකුණු කොටබටෝ වාණිජ මණ්ඩල හා කර්මාන්ත පදනමේ සත්කාරකත්වයෙන් පැවැත්විණි.

පිලිපීන රාජ්‍ය නියෝජිතායතන, ව්‍යාපාර සහයෝගිතා සංගම්, කර්මාන්ත සංගම්, මින්දනාඕ හි ව්‍යාපාර ප්‍රජාව සහ අනෙකුත් ආයෝජකයන් නියෝජනය කරමින් දළ වශයෙන් 1000 ක පමණ නියෝජිත පිරිසක් දින දෙකක් මුළුල්ලේ පැවැති මෙම සමුළුවට සහභාගී වූහ.

මින්දනාඕ යනු පිලිපීන දූපත් සමූහයේ දකුණු දිග කලාපයේ පිහිටි ප්‍රදේශයයි. පිලිපීනයේ ප්‍රධානතම ධාන්‍ය සැපයුම් මධ්‍යස්ථානය මින්දනාඕ ප්‍රදේශය වන අතර, මෙට්‍රො දවාඕ සහ මෙට්‍රො කගායාන් ඩි ඕරෝ වැනි ආර්ථික කේන්ද්‍රස්ථානවල නැගීමත් සමඟ ආර්ථිකය විවිධාංගීකරණයට ලක්වන හෙයින්, මින්දනාඕ හි කලාපීය ආර්ථික සංවර්ධනය සඳහා වන අපේක්ෂා නොකඩවා ඉහළ යමින් පවතින බව දැකිය හැකිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 ඔක්තෝම්බර් 01 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close