​ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය

​ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය

සභාපතිතුමනි,

මහලේකම්තුමනි,

සම්භාවනීය අමුත්තනි,

නෝනාවරුනි, මහත්වරුනි,

වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.

වත්මන් සැසියේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ක්සාබා කොරොසි මැතිතුමාට සුබපැතුම් පිරිනැමීමේ ගෞරවය මට ලබා දෙන්න. සභාපතිතුමනි, ඉදිරි වසර තුළ දී ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මාලදිවයිනේ අබ්දුල්ලා ෂාහිඩ් මැතිතුමා 76 වැනි සැසිවාරය සඳහා ලබා දුන් විශිෂ්ඨ නායකත්වය වෙනුවෙන් අපගේ ප්‍රශංසාව ද පුද කරමි. මාලදිවයිනේ සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස, අපට නව ශුභවාදී බවක් සහ ජවයක් ලබා දුන් එතුමා‍ගේ අපේක්ෂාවේ සභාපති ධූරය පිළිබඳව අපි විශේෂ කෘතඥතාව පළ කරමු. මෙය මත ගොඩ නඟමින්, සහයෝගීතාවය, තිරසාරභාවය සහ විද්‍යාව තුළින් විසඳුම් සෙවීම සඳහා වූ අපගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපතිවරයාගේ දැක්ම වෙත අපි ගමන් කරමු.

සභාපතිතුමනි,

මීට වසර හැත්තෑ හතකට පෙර, දෙවන ලෝක සංග්‍රාමයේ සටන් බිම නිහඬ වූ නමුත් එහි භීෂණය ලොව පුරා දෝංකාර දෙන අතරතුර දී, පැරණි ලෝක පිළිවෙලෙහි නටබුන් අතරින් නව ලෝක පිළිවෙලක් මතු විය. සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේ දී ජාතීන් 50ක් විසින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් එම නව ලෝක පිළිවෙල ප්‍රකාශයට පත්විය. සෑම රාජ්‍යයකටම අසුන් ගත හැකි මේසයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සැමට සවන් දිය හැකි සහ සැම දෙනාම එක හා සමානව වැදගත් වන සංසදයකි. බහුපාර්ශ්වික සංකල්පය වන මෙය රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මූලික දේශපාලන මූලධර්මයකි. බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රිකභාවය ගෙවතු වගාවට සමාන බව කියනු ලැබේ; ඔබ සිටුවන්න, බලා සිටින්න, බීජ වපුරන්න, බලා සිටින්න, යම් අවස්ථාවක දී ඔබ අස්වැන්න කපා ගන්න. බහුපාර්ශ්විකවාදයේ දී, අපි එකිනෙකා සමඟ කතා කරමු, අපි විශ්වාසය සහ පැහැදීම පිළිබඳ සම්බන්ධතාවයක් වර්ධනය කර ගනිමු, යමක් සිදුවුවහොත්, ඒ පිළිබඳව කටයුතු කිරීමට අවශ්‍ය පදනම ඔබ සතුව පවතී.

සම්භාවනීය මැතිවරුනි,

ලෝකය සංකීර්ණ, අන්තර් සම්බන්ධිත අභියෝග රාශියකට මුහුණ දී සිටී. වර්තමාන ගෝලීය අර්බුද හේතුවෙන් වසංගතයේ දුරදිග යන බලපෑම් තවදුරටත් උග්‍ර වී ඇත. අනෙකුත් කරුණු අතර, “දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ ඉහළ යන පරිසර දූෂණය යන ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයේ” අන්‍යෝන්‍ය ප්‍රතිඵලයක් ලෙස “ගෝලීය ගින්න පිළිබඳ පංචවිධ අනතුරු ඇඟවීම” ලෙස මහලේකම්වරයා විසින් සඳහන් කර ඇති කරුණුවල විනාශකාරී ප්‍රතිවිපාක මගින් මෙම අවදානම් උග්‍ර වී ඇත. ඊට අමතරව, ආන්තික කාලගුණික රටාවල ප්‍රතිඵලයක් ලෙස ජීවිත, දේපළ සහ වාසස්ථාන අහිමි වීම, ස්වේච්ඡාවෙන් සිදුවන මිනිස් අවතැන්වීම් සහ ඒ සමඟ ඇති වන ආහාර හා බලශක්ති අර්බුදයක් ද අපි අත්දකිමු.

මෙම ප්‍රවණතා මඟින්, රාජ්‍යයන් තුළ සහ රාජ්‍යයන් අතර අසමානතාවයන් ගැඹුරු කිරීමට තුඩු දෙන බව සිතීම අපහසු නොවේ. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සඳහා ප්‍රවේශය නොමැතිකම හේතුවෙන්, රජයන්ගේ ණය පැහැර හැරීම් සහ මූල්‍ය කඩාවැටීම්වලට මුහුණපාමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ඒවායේ ආර්ථිකයන් දැඩි අවදානමකට ලක්ව ඇති අතර, ජනතාව ඉහළ යන දරිද්‍රතාවයට, විරැකියාවට සහ කුසගින්නට මුහුණ දෙති. එහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම කෙරෙහි බලපෑම් එල්ල වෙමින් ඔවුන්ගේ අධ්‍යාපනය හා බුද්ධිමය දියුණුව අඩාල වේ. අපගේ උපරිම උත්සාහය පැවතියද, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හෝ දැනටමත් ලබාගෙන ඇති ජයග්‍රහණ පවත්වා ගැනී සඳහා වන‍ අපගේ සාමූහික හැකියාව, වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතී.

සභාපතිතුමනි,

පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු අන්දමේ වෙනස්කම් සිදුවී ඇත්තේ මෙම අභියෝගාත්මක ගෝලීය පසුබිම තුළ ය. අප මුහුණ දෙන බාහිර හා අභ්‍යන්තර අභියෝග මඟින් අපගේ ජනතාවට ප්‍රකෘතිමත් වීමට සහ සමෘද්ධියට තුඩු දෙන දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් සපයයි. අනාගතය සඳහා අපගේ සාමූහික දැක්ම  වන, සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් සාධාරණ, තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් ‘වඩා යහපත් ලෙස නැවත ගොඩනැගීම’ සඳහා අවස්ථාවක් සාක්ෂාත් කරගත යුතු මොහොත මෙය බව ශ්‍රී ලංකාව විශ්වාස කරයි. අප මේ ගමන ආරම්භ කරන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය සහ සහයෝගය අපි අපේක්ෂා කරමු.

රට තුළ පැවති දීර්ඝ කාලීන සමාජ නොසන්සුන්තා සහ විරෝධතාවලින් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාවේදී ප්‍රකාශ කළේ, (උපුටා දැක්වීම) “ජාතිය ඉල්ලා සිටින සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ මම ක්‍රියාත්මක කරමි” (උපුටා දැක්වීම අවසන්) යනුවෙනි. මෙම ක්‍රියාමාර්ගවලට, වත්මන් ක්‍රියා පටිපාටි සමාලෝචනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආයතනික රාමුව ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඇතුළත් වේ. මෙය කළ හැක්කේ අප විසින් මූල්‍ය විනය හා දුරදිග යන ආර්ථික හා ආයතනික ප්‍රතිසංස්කරණ දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් බව අපි තේරුම් ගෙන ඇත්තෙමු.

සභාපතිතුමනි, අපි ඒ ක්‍රියාවලිය සඳහා කැප වී සිටින්නමු.

යෝජිත ව්‍යවස්ථාදායක සහ ව්‍යවස්ථාමය සංශෝධන හරහා ස්වාධීන අධීක්ෂණ ආයතන මෙන්ම වැඩි දියුණු කරන ලද මහජන පරීක්ෂාවක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යුක්තිය සඳහා ප්‍රවේශය ලබා දීමේදී විනිවිදභාවය, අඛණ්ඩතාව, වගවීම සහ සියල්ල ඇතුළත් බව සහතික කිරීම සඳහා නීතිමය සහ පරිපාලන රාමු ශක්තිමත් කෙරේ. මෙම ක්‍රියාවලියේ දී කාන්තාවන්ගේ සහ තරුණ තරුණියන්ගේ වැඩි සහභාගීත්වයක් සහතික කෙරෙනු ඇත.

සභාපතිතුමනි,

මෑත අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳව අපි දැනුවත්ව සහ දැඩි ලෙස සංවේදීව සිටිමු. අපේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව රජය අතිශයින් සංවේදී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ අවබෝධයකට පැමිණීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීම සඳහා අප පියවර ගෙන ඇති අතර, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් ඔවුන්ගේ ජීවිතවලට අවම බලපෑමක් ඇති කරන බවට සහතික කිරීම සඳහා උත්සාහ දරන්නෙමු. අපගේ ආයතන සහ සමාජය ඉතා දුෂ්කර තත්වයන් හමුවේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත.

අප සැවොම පරිශුද්ධ යැයි සලකන, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා කෙනෙකුට මූලික අයිතියක් ඇති බව අපි කොන්දේසි විරහිතව පිළිගනිමු. කෙසේ වෙතත්, මෙම නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අනුපිළිවෙල තුළ පැවතිය යුතු වන අතර, නීතියේ සීමාවන් තුළ තම අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ මූලික යුතුකම සැලකිල්ලට ගනිමින් එය ක්‍රියාත්මක කළ යුතු බව ද වටහා ගත යුතුය.

සභාපතිතුමනි,

කොවිඩ්-19 වසංගතයෙහි මානව සෞඛ්‍ය බලපෑම පාලනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාප්ත උපායමාර්ගය රජය විසින් ක්‍රියාශීලීව සහ වෙනස් කොට සැලකීමකින් තොරව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සහ අපගේ ශක්තිමත් සෞඛ්‍යය රැකවරණ යටිතල පහසුකම් ඵලදායී ලෙස ලබා දීමේ හැකියාව හේතුවෙන් බොහෝ දුරට සාර්ථක වී ඇති බව මෙම උත්තරීතර සභාවට දැනුම් දීමට මම සතුටු වෙමි. අපගේ එන්නත් කිරීමේ මෙහෙයුම, ලෝක සෞඛ්‍ය සංවිධාන ඉලක්ක ඉක්මවා ගොස් ඇත. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි වසංගතයේ ආර්ථික බිඳවැටීමට විශාල වශයෙන් ගොදුරු වූයෙමු. ගෝලීය සෞඛ්‍ය ජාල හරහා වන බහුපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින්, අප විසින් ප්‍රයෝජනයට ගත යුතු අනාගතය සඳහා කවුළුවක් වෛරසය විසින් විවෘත කොට ඇත.

සභාපතිතුමනි,

දේශගුණික විපර්යාස පිළිබඳ අංශය දෙසට මොහොතකට හැරෙන්නට මට අවසර දෙන්න. දේශගුණික අවදානම් සහිත රටක් ලෙස, දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික ප්‍රගතියට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට සහ ජීවනෝපායන් කෙරෙහි අහිතකර ලෙස බලපෑමට හැකියාවක් පවතී. 2050 වසර වන විට කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීම සඳහා විමෝචනය අඩු කිරීමේ අරමුණින් යුතුව, පසුගිය වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය වෙත වෙත ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුමේ සහ අපගේ යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයේ (NDC) ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී ඇත. මෙම කැපවීම් මඟින්, හරිත ආර්ථික සංවර්ධන අරමුණු කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයේ ඉලක්ක සපුරා ගැනීම සහ පුනර්ජනනීය සහ තිරසාර බලශක්ති සහ බලශක්ති කාර්යක්ෂමතා පියවරයන් වෙත අනුරූප බලශක්ති සංක්‍රමණය ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු අන්දමේ දේශගුණික මූල්‍යකරණයක් අවශ්‍ය වන බව අපි වටහාගෙන ඇත.

සභාපතිතුමනි,

අපට මෙය තනිවම කළ නොහැක්කක් බව ඔබට වැටහෙනු ඇත. අපගේම උත්සාහයට සමගාමීව, ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් ඔවුන්ගේ කැපවීම් ඉටු කළ යුතු වන අතර, පොදු නමුත් වෙනස් වූ රාමුවක් යටතේ අනුවර්තනය වීමේ සහ අවම කිරීමේ පියවරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සහාය විය යුතු බව අපි විශ්වාස කරමු. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලින් සාධාරණ, තිරසාර, ඔරොත්තු දෙන සහ සියල්ල ඇතුළත් ප්‍රකෘතිමත් වීමක් කරා සහ බලශක්ති සංක්‍රාන්තිය සඳහා අප කටයුතු කළ යුතුය.

සාගරය දෙසට හැරෙන කල, සභාපතිතුමනි, දූපත් රාජ්‍යයක් වශයෙන් අප සාගර පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සංවේදී වීම ඔබ අගය කරනු ඇත. ගොඩබිම් සම්පත් මත ඇති වන ශීඝ්‍ර පීඩනයත් සමඟ ආහාර සුරක්ෂිතතාව සඳහා පමණක් නොව කර්මාන්ත සහ බලශක්ති සඳහා වන අමුද්‍රව්‍ය ප්‍රභවයක් ලෙස, පැවැත්ම සඳහා ලෝකය සාගර දෙසට හැරෙමින් තිබේ. තිරසාර සංවර්ධන ඉලක්ක 14 ට අනුකූලව සාගර සහ එහි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා අපි කැපවී සිටිමු. මේ වසරේ මැයි මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී, දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම සඳහා කුඩා නමුත් සැලකිය යුතු අන්දමේ ස්වභාවධර්මය පාදක වූ විසඳුමක් ගෙන ඒම ගැන අපි සතුටු වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 1 වන දින ලෝක මුහුදු පැලෑටි දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා එය හේතු විය. වැදගත් කාබන් අ‍වශෝෂකයක් වන මුහුදු පැලෑටි, නිවර්තන වැසි වනාන්තරවලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් කාබන් අවශෝෂණය කරයි.

සභාපතිතුමනි,

2030 වන විට ලෝකය ‘කුසගිනි ශූන්‍යය’ සාක්ෂාත් කර ගැනීම සඳහා නියමිත සන්ධිස්ථාන කරා නොපැමිණීමේ සම්භාවිතාවක් ඇත. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව විශාල අවදානමකට ලක්වනු ඇතැයි පුරෝකථනය කොට ඇත. ශ්‍රී ලංකාව මෙම අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලද අංශයක් බවට තිරසාර පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සහාය දෙන අතර, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ ආහාර නිෂ්පාදනය දිරිමත් කරයි. ශ්‍රී ලංකාව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කර ඇත්තේ කිසිදු පුරවැසියෙකු ආහාර හිඟය නිසා පීඩාවට පත් නොවිය යුතු බවත්, කිසිදු දරුවෙකු මන්දපෝෂණයට ගොදුරු නොවිය යුතු බවත් සහතික කිරීමේ ද්විත්ව අරමුණු සහිතවය.

සියලුම සමාජ-ආර්ථික පසුබිම්වල දරුවන්ට හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳිය හැකි බව සහතික කිරීම සඳහා ප්‍රමාණවත් පෝෂණය අත්‍යවශ්‍ය සහ ඉතා වැදගත් වේ. සැමට ගුණාත්මක අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් සැපයීම, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිවල හරය වන අතර, කොවිඩ්-19 වසංගතය තුළ ‘ගෝලීය ඉගෙනුම් අර්බුදවල’ බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ පදනම එමඟින් සපයන ලදී. අධ්‍යාපනය ලබා දීම ඩිජිටල් පද්ධති වෙත සීඝ්‍ර ලෙස පරිවර්තනය වීම, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වීය ප්‍රවේශය, සහභාගීත්වය සහ පැවැත්ම සඳහා තර්ජනයක් විය. ශ්‍රී ලංකාවේ ඉලක්කය වන්නේ මෙම ඩිජිටල් බෙදීම සමනය කිරීම සහ කිසිදු දරුවෙකු අතහැර නොයන බවට සහතික කිරීමයි.

සභාපතිතුමනි,

දැඩි අභියෝග මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා අප ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය දිගටම පවත්වා ගැනීමට අපි උත්සාහ දරන්නෙමු. තිරසාර සංවර්ධන දත්ත ලබා දීම පිළිබඳ අපගේ ප්‍රයත්නයන් මගින් ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ ස්ථානයකට අපව පත් කර ඇති අතර, එමඟින් අනාගතයේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රතිපත්ති සම්පාදනය පිණිස සාක්ෂි දැනුවත් කිරීමේ ශ්‍රී ලංකාවේ හැකියාව වැඩි දියුණු කරයි. මානව ප්‍රාග්ධනයේ ආයෝජනය අපේ රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය දෙයක් බව අපි පිළිගනිමු. සභාපතිතුමනි, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් රටවල් 191ක් අතරින් 73 වැනි ස්ථානය හිමිකර ගනිමින් ඉහළ මානව සංවර්ධන කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම සහ කලාපයේ ඉහළම ස්ථානය ලබාගැනීම, පුදුමයට කරුණක් නොවේ.

එසේ පැවසීමෙන් අනතුරුව, කෙසේ වෙතත්, වර්තමාන අභියෝග මඟින් ප්‍රගතියට බාධා කර ඇති බව පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බරපතල අනතුරු ඇඟවීමක් කරමින් “තිරසාර සංවර්ධන ඉලක්ක මුදාගැනීම” පිළිබඳව සඳහන් කොට ඇත. මෙම අනතුරු ඇඟවීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කරන ලද නිරීක්‍ෂණයක් මගින් වසර 32 කට පසු ප්‍රථම වතාවට මානව සංවර්ධන දර්ශකය ගෝලීය වශයෙන් වසර දෙකක් තිස්සේ අඛණ්ඩව පහත වැටී ඇති බව දක්වයි.

සභාපතිතුමනි,

ගෝලීය ආරක්ෂාව පිළිබඳව යමක් සඳහන් කරමි. ජාතීන් අතර භූ දේශපාලනික ආතතීන් මඟින් රාජ්‍යයන් අතර අනාරක්ෂිතභාවය සහ ධ්‍රැවීකරණය ඇති කිරීම ඉහළ නංවා ඇත. ආයුධ පාලනය, ප්‍රගුණනය නොකිරීම සහ නිරායුධකරණය සඳහා එකඟ වූ රාමු බිඳෙනසුලු වී ඇත. ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණයේ සහ ප්‍රගුණනය නොකිරීමේ පාලන තන්ත්‍රයේ කේන්ද්‍රස්ථානය ලෙස පවතින ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ 10 වැනි සමාලෝචන සමුළුවේදී, අපට නැවත වරක් සම්මුති ප්‍රතිඵලයකට පැමිණීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

අපි සමකාලීන අභියෝග පිළිබඳව කටයුතු කරන අතරම, කලක් තිස්සේ පවතින පලස්තීන ප්‍රශ්නය අප අමතක නොකළ යුතුය. පලස්තීන ජනතාවට තම භූමියේ ඇති ස්වභාවික සම්පත්වලට සහ රාජ්‍යත්වයට නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතියක් ඇති බවට ශ්‍රී ලංකාවේ ස්ථාවර සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය යළි ප්‍රකාශ කරන අතරම, පලස්තීන සහ ඊශ්‍රායල ජනතාවගේ නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා සහ රාජ්‍ය දෙකක විසඳුම සාක්ෂාත් කර ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවේ පදනම මත මෙම කරුණ පිළිබඳ හදිසි විසඳුමක අවශ්‍යතාවය අපි තවදුරටත් හඳුනා ගනිමු.

සභාපතිතුමනි,

සයිබර් අවකාශයේ සහ කෘත්‍රිම බුද්ධියේ නව තාක්‍ෂණ භාවිතය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණ පාලන තන්ත්‍රයක් නොමැතිකම කෙරෙහි වහා අවධානය යොමු කළ යුතුව ඇත. මහා පරිමාණ කඩාකප්පල් කිරීම්, සාවද්‍ය තොරතුරු සහ විද්‍යාත්මකව ස්ථාපිත සොයාගැනීම් වලක්වාලීමට ඔවුන්ට ඇති හැකියාව සත්‍ය වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් හා අප සැවොම මුහුණ දෙන අනතුරකි. ජාතියේ පළමු තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කරමින් පවතින ශ්‍රී ලංකාව, බහුජාතික සයිබර් තර්ජනවලට මුහුණ දීම සඳහා සයිබර් අවකාශය ආරක්ෂා කිරීම සඳහා හවුල්කාරිත්වය පදනම් කරගත් ප්‍රවේශයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇත.

සභාපතිතුමනි,

ත්‍රස්තවාදයේ ව්‍යසනය ගැන මම කෙටි සඳහනක් කළ යුතුය. දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ ගොදුරක් විය. ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක තෝරා ගැනීම, මූල්‍යකරණයේ ක්‍රම සහ රැඩිකල්කරණය මෙන්ම නව තාක්ෂණයන් ආයුධ ලෙස භාවිතා කිරීම නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතී. ප්‍රචණ්ඩ අන්තවාදයට තුඩු දෙන රැඩිකල් මතවාදයන්ට එරෙහි වීමට සහ ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සහ අපයෝජනය මැඩපැවැත්වීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අතරම, ත්‍රස්තවාදයට තුඩු දෙන ප්‍රචණ්ඩ අන්තවාදී මතවාදයේ බලපෑම් සහ බලපෑම් අවම කිරීම සඳහා තරුණයන්ගේ විවේචනාත්මක චින්තන හැකියාව වර්ධනය කිරීම, ප්‍රජා බැඳීම් ශක්තිමත් කිරීම, සිවිල් වගකීම පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අවශ්‍ය වේ.

සභාපතිතුමනි,

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අපගේ දායකත්වය ලෙස, එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා වෘත්තීය පිරිමින් සහ කාන්තාවන් යෙදවීමෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අපගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. දශක ගණනාවක් තිස්සේ නිල් හිස්වැසුම යටතේ සිදුකළ ගැටුමේ සිට සාමය දක්වා වූ දුෂ්කර මාවතේ ගමන් කිරීම සඳහා රටවලට උපකාර කළ දහස් ගණනක් පිරිමින්ට සහ කාන්තාවන්ට ගෞරව කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි. ත්‍රස්තවාදයට එරෙහි සහ කැරලි මර්දන මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති ශ්‍රී ලංකා සාමසාධක භටයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ඇතුළුව සාම සාධක කටයුතු සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුමෙන් පුහුණුව ලබා ඇති බව සහතික කිරීම පිණිස අපි බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇත.

සභාපතිතුමනි,

මෙය සැබවින්ම ජාත්‍යන්තර ප්‍රජාව සඳහා දිය පහරක් වන මොහොතක් මෙන්ම, විශාල අභියෝගයක් සහ අවස්ථාවක් පවතින මොහොතකි. අප මුහුණ දෙන සංකීර්ණ සහ අන්තර් සම්බන්ධිත අර්බුද ජාතීන් විසින් තනිවම ක්‍රියා කිරීමෙන් විසඳිය නොහැක. එය ගෝලීය සහයෝගීතාවය, රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ සාමූහික ප්‍රයත්නයන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් වන අතර, අපගේ සියලු මිනිසුන්ගේ සහ අපගේ සමාජයේ සියලුම කොටස්වල අදහස් සහ කුසලතා උපයෝගී කරගනිමින් කිසිවකු අත් නොහරින පරිවර්තනීය විසඳුම් සෙවීම සඳහා අවස්ථාවක් වේ. බහුපාර්ශ්විකත්වය, සභාපතිතුමනි, එවැනි අභියෝග අභිබවා නැගී සිටින රාජ්‍යතාන්ත්‍රිකත්වය සඳහා වූ මෙවලමකි. විදේශ ගමන් බලපත්‍ර පාලනය මඟින් ගැටුම්, ව්‍යසන සහ අර්බුද නතර නොවේ. බහුපාර්ශ්විකවාදය අඩුපාඩුවලින් තොර වූවක් නොවන අතර, එය සමකාලීන අභියෝග විසඳීම සඳහා ශක්තිමත් රාමුවක් සපයන බවට සැකයක් නැත.

සභාපතිතුමනි,

මෙම උත්තරීතර සභාවෙහි මෙහෙවර මෙය වන අතර, සමහර විට වසර 77 කට පෙර එය ස්ථාපිත කිරීම සඳහා වූ ඒකීය හේතුව ද විය හැකි බව මම කියමි. මෙහි සාමාජිකයින් වීමට, සහභාගී වීමට, දෘශ්‍යමාන වීමට, සවන් දෙනු ලැබීමට, අපගේම රසයන්, ඉදිරිදර්ශන, ඉතිහාසය සහ දැනුමෙන් මෙම සංවිධානය සහ මෙම කදිම ඒකාබද්ධතාවය අලංකාර කිරීමට සහ අප සම්බන්ධ වන පොදු කටයුතු සාකච්ඡා සහ ආරවුල් තුළින් වර්ධනය වීම සඳහා ශ්‍රී ලංකාව සහ තවත් බොහෝ අය අයදුම් කිරීමට හේතුව එය විය හැකිය.

විවිධ මතවාද සහ සමාජ ක්‍රම නොතකා, සියලු රටවල් සමඟ මිත්‍රත්වය මත පදනම් වූ නොබැඳි සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ශ්‍රී ලංකාව කැප කළ, අපගේ දිවංගත අගමැතිවරයෙකුගේ නිරීක්ෂණ උපුටා දක්වමින් මගේ කතාව අවසන් කළ හැකිය. එතුමා පැවසුවේ, ‘අපි අප වෙනුවෙන් නව සමාජයක් ගොඩනගා ගත යුතුයි; මම කියා ඇති ආකාරයේ අපේ රටේ බුද්ධිමතුන්ට වඩාත් ගැලපෙන එකක්. අද පවතින වෙනස් වන ලෝකයක සන්දර්භය තුළ, අපගේ මිනිසුන්ට ගැලපෙන සමාජයක සංගත ස්වරූපයක් සාදනු ලබන තෙක්, අපි මේ පාර්ශ්වයෙන් අදහස් සහ මූලධර්ම සහ තවත් සමහරක් අනෙක් පාර්ශ්වයෙන් ලබා ගැනීමට කැමති විය යුතුයි. අපි මේ බලමණ්ඩලයේ පක්ෂයේ හෝ අනෙක් පක්ෂයේ නොසිටින්නේ එම නිසාය’ යනුවෙනි.

සභාපතිතුමනි,

මෙහි නියෝජනය කරන ජාතීන් 193 යුක්තිය ස්ථාපිත කිරීමට, සාමය පවත්වා ගැනීමට සහ පෙර නොවූ විරූ ලෙස කරදරයට පත් වූ ලෝකයක ප්‍රගතිය සහතික කිරීම සඳහා ඒකාබද්ධව වගකීම බෙදා ගන්නා බව සඳහන් කිරීමට මට අවසර දෙන්න. ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපගේ උත්තරීතර නීතිය සහ අනෙකුත් දේශීය ප්‍රඥප්ති ඇතුළත් ප්‍රඥප්තියක් සහ ජාත්‍යන්තර නීතියේ ප්‍රබල දේහයක් අප සතුව ඇත. මේ සියලු විදග්ධතාවන් තිබියදී ද, බහුවිධ අභියෝග පවතින බවටද අපි තදින්ම සචේතනිකය. මෙම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටී.

අප මුහුණ දී ඇති අර්බුදය උපයෝජනය කරමින්, කිසිවකුත් අත්හැර නොදමා, වඩා හොඳින් නැවත ගොඩනඟා, නිදහසේ සහ ප්‍රගතියේ නව ක්ෂිතිජයන් කරා නැඟීමේ අවංක බලාපොරොත්තුවෙන් යුතුව එම කැපවීම සඳහා ශ්‍රී ලංකාව අද ප්‍රතිඥා දෙයි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close