"ලංකා කුළුබඩු සැමරීම" ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පවත්වන ලද ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන

“ලංකා කුළුබඩු සැමරීම” ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පවත්වන ලද ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන

එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා 2022 සැප්තැම්බර් 13 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී විචිත්‍රවත් සන්ධ්‍යා වැඩසටහනක් පැවැත්වී ය.

ASTA හි සාමාජිකයන්, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන වන ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය, ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු 100 දෙනෙකුට අධික අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලාංකික කුළුබඩු අපනයනය ඉහළ නැංවීමේ වැදගත්කම පෙන්වා දෙමින් රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, දෙරට අතර ව්‍යාපාරාන්තර සහයෝගීතාව දිරිමත් කළේ ය. ශ්‍රී ලංකාව නිපදවන කුළුබඩු ආශ්‍රිත අපනයන සඳහා ඉහළ අගය එකතු කිරීමේ ක්‍රම වෙත යොමු වීමේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේ ය. තවද, සහය අවශ්‍ය මොහොතක දී ඇමරිකා එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව ද එතුමා සිය ප්‍රශංසාව පළ කළේ ය.

සිය දේශනය ඉදිරිපත් කළ ASTA හි සභාපති පොන්ටස් මැට්සන් මහතා, මෙවැනි විශිෂ්ට වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පුද කළ අතර, දෙරටේ කුළුබඩු කර්මාන්තයේ යෙදී සිටින වෙළඳුන් අතර ක්‍රමානුකූල පරිදි ඉහළ වෙළඳ සබඳතා ඇති කිරීම සඳහා, ASTA හි සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ වැඩිදුර ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ගුණාත්මක කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුමක් සහිත රටක් ලෙස ප්‍රවර්ධනය කරන අතරතුර, ලංකා කුළුබඩුවල පෞරාණික සම්භවය සහ ඒවායේ සංස්කෘතික හා ආර්ථික වැදගත්කම මෙන්ම, විශේෂයෙන් කුරුඳු සහ අනෙකුත් ප්‍රධාන කුළුබඩු පිළිබඳ විස්තරාත්මක තොරතුරු අඩංගු වීඩියෝවක් මෙම වැඩසටහන අතරතුර ප්‍රදර්ශනය කෙරිණි.

‘Asanga Domask and the Serendib Dance Troupe’ නමැති නර්තන කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සිසුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන සංස්කෘතික නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කළ අතර, එය සහභාගීවූවන් ආකර්ෂණය කරගැනීමට සමත් විය. කුළු නැටුම, සෙල්ලම් පිට්ටනිය, පෙරහැර සහ සුරඹා වල්ලිය ඇතුළු ශ්‍රී ලංකාවේ හරවත් සම්ප්‍රදාය සහ ජනඋරුමය නිරූපණය කරන විවිධ නර්තන ශෛලීන් කිහිපයක් ඔවුන් විසින් ඉදිරිපත් කෙරිණි. ‘The Natraj  School of Indian Dance’ හි මේධිනි මහත්මිය විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රචූඩා නමැති නර්තනාංගය රටේ බහු සංස්කෘතික ස්වභාවය විදහා දැක්වී ය. මෙම වැඩසටහන මුළුල්ලේ සජීවී ව ඉදිරිපත් කරන ලද සිංහල ගීත අමුත්තන් රසගැන්වී ය.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂයෙන් තෝරාගත් සුන්දර වෙරළ තීරයන්, හරිත කඳු නිම්න ආදිය ඇතුළත් සංචාරක ස්ථාන ආශ්‍රිත වීඩියෝ දර්ශන තානාපති කාර්යාලය විසින් මෙහිදි ප්‍රදර්ශන කෙරුණු අතර, ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම්, සුවතා සංචාරක ව්‍යාපාරය, වනජීවීන් ඇතුළු විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන හා ක්‍රියාකාරකම් ද ප්‍රවර්ධනය කෙරිණි. මීට අමතරව, ශ්‍රී ලාංකික සූපවේදියකු විසින් සකස් කරන ලද, ලංකා කුළුබඩුවල රස අත්විඳීමේ හැකියාව සලසන අතිවිශිෂ්ට ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට ද සහභාගීවූවන්ට අවස්ථාව උදා විය. ආරාධිතයන්ගේ රසවින්දනය සඳහා නැවුම් ලෙස සාදන ලද ආප්ප සහ කොත්තු රොටි සපයන සජීවී අවන්හල් දෙකක් ද එහි විය.පිරිසිදු ලංකා කළු තේ වලට අමතරව, රස එක් කළ තේ වර්ග ද තේ සඳහා වෙන් කළ ස්ථානයක් ඔස්සේ පිරිනමන ලදි. විවිධ කුළුබඩු වර්ග රැසක් ද ප්‍රදර්ශනය සඳහා තබා තිබිණි.

සිය ස්තුති කතාව ඉදිරිපත් කළ අමාත්‍ය (වාණිජ්‍ය) චරිත යට්ටෝගොඩ මහතා, මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය පළ කරමින් මෙම වැඩසටහන පැවැත්වීම සඳහා තානාපති  කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ASTA වෙත සිය ස්තුතිය පුද කළේ ය.ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග හමුවේ, ශ්‍රී ලංකාව ඇමරිකාවට මෙන්ම ගෝලීය වශයෙන් සිදුකරන අපනයනවලට බාධා එල්ල වී නොමැති බව අවධාරණය කළ එතුමා, කුළුබඩු අපනයනය සම්බන්ධයෙන් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කුළුබඩු කවුන්සිලයේ අනුග්‍රහයෙන් සිහිවටනයක් ලෙස පිරිනමන ලද කුළුබඩු පැකට්ටුවක්, සංචාරක පොත් පිංච සහ ලංකා තේ පැකැට්ටු සහභාගීවූවන් සියලුම දෙනා වෙනුවෙන් තිළිණ කරන ලදි.

කුළුබඩු කර්මාන්තය කෙරෙහි මහජන අවබෝධය සහ ඉල්ලුම හැඩගස්වන ගෝලීය වෙළඳපොළ තුළ ඇමරිකා එක්සත් ජනපදයේ කුළුබඩු කර්මාන්තය නියෝජනය කරන ASTA ආයතනය, එහි සාමාජිකයන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉහළ නංවයි. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සමඟ පවත්නා දිගුකාලීන වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ASTA විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය සහය ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2022 සැප්තැම්බර් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close