ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ නවෝත්පාදන කර්මාන්ත සඳහා වන USAID සහය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිගැනීමට ලක් වේ

ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ නවෝත්පාදන කර්මාන්ත සඳහා වන USAID සහය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිගැනීමට ලක් වේ

 විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, 2022 සැප්තැම්බර් 21 වැනි බදාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රාවු මහතා හමුවිය.

 USAID හි පරිපාලක තානාපති සමන්තා පවර් මහත්මිය මෑතක දී මෙරට සිදු කළ සංචාරය සාදරයෙන් පිළිගත් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ USAID ආයතනය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන මානුෂීය සහ අත්‍යවශ්‍ය ආධාර සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළේ ය.

පාලනය සහ සමාජ සහජීවනය, ආර්ථික වර්ධනය සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය, ආර්ථික හා මානුෂීය අර්බුද හමුවේ සහය ලබා දීම යනාදිය ඇතුළත් සිය ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ USAID හි දූත මණ්ඩල අධ්‍යක්ෂවරයා, USAID ආයතනය මෙරට ක්‍රියාත්මක කළ වැඩ කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. ආර්ථික වර්ධනය සඳහා පුද්ගලික අංශය ලබා දෙන සැලකිය යුතු දායකත්වය අගය කළ USAID හි දූත මණ්ඩල අධ්‍යක්ෂවරයා, අගය දාමය සහ ආර්ථිකය වෙනුවෙන් පෞද්ගලික අංශය දක්වන දායකත්වයට සහය පළ කරන USAID ව්‍යාපෘති පිළිබඳව සඳහන් කළේ ය.

මිනිරන්, පොස්පේට් සහ ඉල්මනයිට් ඇතුළුව ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ සම්පත් පරාසය පිළිබඳව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, මෙම සම්පත් උපයෝගී කර ගනිමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා සහය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය. සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා USAID ව්‍යාපෘති දක්වන දායකත්වය සාදරයෙන් පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා, මෙරට තාක්ෂණික හා නිෂ්පාදන කර්මාන්තවල නිරතව සිටින තාරුණ්‍යයට මෙන්ම නවෝත්පාදන කටයුතු සඳහා සහය ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය. මීට අදාළව, ශක්‍යතා සහිත තරුණ ව්‍යවසායකයන් සහ ආරම්භක සමාගම් සඳහා තවදුරටත් සහය පළ කරන ලෙස එතුමා USAID වෙත ඇරයුම් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ USAID හි කොළඹ පිහිටි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close