ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ධාරිතා වර්ධනය කිරීම සඳහා ප්‍රංශ සහයෝගීතාව

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ධාරිතා වර්ධනය කිරීම සඳහා ප්‍රංශ සහයෝගීතාව

ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින්, රබර් කර්මාන්තය හා සබැඳි ප්‍රංශ විශේෂඥයකු වන KSAPA සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹිණි.

2023 ජනවාරි 05 වැනි දින ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ KSAPA සමාගම අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. KSAPA හි කළමනාකාර අධ්‍යක්ෂ රෆායෙල් හාරා මහතා පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ‍එහි කාර්යභාර නිලධාරියා, රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ප්‍රංශයේ ආර්ථික හා මුදල් අමාත්‍යංශයේ සෘජු මූල්‍යකරණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී එලීස් බෙන්ගෝ මහත්මිය  සහ KSAPA සමාගමේ වැඩසටහන් කළමනාකරු වන අරිඩ්න් කෝවෝ මහතා  ඉදිරියේ ඊට අත්සන් තැබී ය. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා 2022 දෙසැම්බර් 16 වැනි දින ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම  අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී ය.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් රබර් නිෂ්පාදනය කෙරෙහි නැඹුරු වූ ගොවි ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් ධාරිතා වර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන "Rubber Improvement of Value Chain & Embedded Smallholders Resilience (RIVER) Project" නමැති ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ය.

බඩල්කුඹුර සහ මැදගම ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මොණරාගල රබර් සංවර්ධන ව්‍යාපෘති කලාපය තුළ කුඩා රබර් වතු හිමියන් 6,000 ක පමණ ධාරිතා ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. ග්‍රාමීය කුඩා රබර් කුඩා වතු හිමියන්ගේ දැනුම, කාර්ය සාධනය, ජීවනෝපාය, සමාජ දැක්ම මෙන්ම පාරිසරික බලපෑම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය සහ ප්‍රායෝගික තාක්ෂණික පුහුණුව උපයෝගී කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ යි.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ ප්‍රංශයේ ආර්ථික, මූල්‍ය සහ ප්‍රතිසාධන අමාත්‍යංශයේ FASEP මූල්‍ය ප්‍රදානය මගිනි. ඊට අවැසි අමතර අරමුදල් ප්‍රංශයේ Michelin සමූහය විසින් විදේශීය මූල්‍ය ප්‍රදානයක් ලෙස ලබා දෙනු ඇත. ඊට අදාළ විශේෂඥ දැනුම සහිත ප්‍රංශයේ මහජන රක්ෂණ පිළිබඳ සමාගමක් වන KSAPA සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබේ. Michelin සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ Messrs Camso Loadstar සමාගම ද මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සඳහා දායක වනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිසිය

2023 ජනවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close