ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා - ඕමාන සහයෝගීතා වැඩසටහනක්

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්

 

ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්‍යාප්ත කීරීමට අදාළ අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව ඕමානයේ ෆයිබර්ග්ලාස් සහ ඇක්‍රිලික් නිමි භාණ්ඩ පිළිබඳ ජනප්‍රිය නිෂ්පාදන සමාගමක් වන අල් හිලාල් ෆයිබර් ඇන්ඩ් ඇක්‍රිලික් ඉන්ඩස්ට්‍රි එල්එල්සී සමාගම සහ ශ්‍රී ලාංකික සමාගම් වන සී/ස. නීල් ප්‍රනාන්දු සහ සමාගම (පුද්ගලික), දනුෂා සමූහය, සී/ස. නොර්ත්වෙස්ට් මැරීන් (පුද්ගලික) සමාගම සහ සී/ස. සීලනී බෝට් යාඩ් (පුද්ගලික) සමාගම යන සමාගම් සහභාගි කරවාගෙන මෙම අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුව සංවිධානය කර තිබුණි.

මෙම අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුව ආරම්භ කරමින්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මහතා අවධාරණය කරනු ලැබුවේ, ශ්‍රී ලංකාව සහ ඕමානය තම ආර්ථික විවිධාංගීකරණය සඳහා නිෂ්පාදන අංශයට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, විවිධ වර්ගයේ බෝට්ටු ඇතුළු ෆයිබර්ග්ලාස් නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන සමාගම් අතර සහයෝගීතාව සඳහා අවස්ථා අතිවිශාල වශයෙන් පවතින බවත්ය.

ඕමානයේ අල් හිලාල් ඉන්ඩස්ට්‍රියල් ගෲප් සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී සලීම් නෙටූර් මහතා මෙම අංශයේ ශ්‍රී ලංකා සමාගම් සතු උසස් තාක්‍ෂණික දැනුම පිළිබඳව ප්‍රශංසා කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙම කලාපය තුළ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම පිණිස ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවක් දැක්වීය.

ඕමානයේ අල් හිලාල් කාර්මික සමූහය සහ අන්තර්ජාල හමුවට සහභාගී වූ ශ්‍රී ලාංකික සමාගම් මෙම අංශය තුළ ඔවුන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හඳුනාගෙන, නුදුරු අනාගතයේ දී විය හැකි සහයෝගීතාව සඳහා යෝජනා හුවමාරු කර ගැනීමට එකඟ වූහ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනෝමා ප්‍රේමතිලක මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසිංහ මහතා, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහතා සහ අල් හිලාල් ඉන්ඩස්ට්‍රියල් ගෲප් එල්එල්සී හි නිෂ්පාදන කළමනාකරු තිලක් මලිගස්පේ මහතා ද මෙම අන්තර්ජාල හමුවට සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2020 ඔක්තෝම්බර් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close