ශ්‍රී ලංකාවෙන් ඕමානයට ශීත කළ කුකුළු මස් අපනයනය එරට රජයේ ඇගයුමට ලක්වෙයි

ශ්‍රී ලංකාවෙන් ඕමානයට ශීත කළ කුකුළු මස් අපනයනය එරට රජයේ ඇගයුමට ලක්වෙයි

ඕමානය හා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනිමේ විශේෂ සාකච්ඡාවක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා හා ඕමාන රජයේ නව වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා අතර ඉකුත් 20 දා පැවැත්විණ. ඕමානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක සහ ඕමාන එක්ස්පෝ 2020 - ඩුබායි හි කොමසාරිස් ජනරාල් මොහ්සින් ඛාමීස් අල් බලූෂී මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක් වූ ඕමාන කර්මාන්ත අමාත්‍යවරයා මෑතක සිට ශ්‍රී ලංකවෙන් ඕමානයට ශීත කළ කුකුළු මස් අපනයනය කීරිම බෙහෙවින් අගය කළේය.

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සහ අමාත්‍ය අල් යූසෙෆ් මැතිතුමා අතර ඵලදායී සාකච්ඡාවක් පැවති අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධාකාර වූ අංශ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන විධි ක්‍රම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ සහ ඕමානයේ ව්‍යවසායකයන් අතර වඩ වඩාත් අන්තර් ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ සහ දෙරට අතර පවත්නා වෙළඳ හා ආයෝජන නව ඉඩප්‍රස්තා පිළිබඳව සොයාබැලීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. දෙරට අතර අංශ රාශියක් සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික වෙළඳාම සඳහා ඉතා විශාල ඉඩප්‍රස්තාවක් පවතින බවද මෙම සාකච්ඡාවේදී ඕමාන අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.  දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ හා ආයෝජන ගලනයන් වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද ඔවුහු එකඟ වූහ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද තානාපතිවරයා සමඟ මෙම රැස්වීමට එක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2020 ඔක්තෝම්බර් 26

Print Friendly, PDF & Email
Please follow and like us:

Close