හේග් හි පිහිටි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල් වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

 හේග් හි පිහිටි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය එහි අධ්‍යක්ෂ ජනරාල් වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW), අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රනාන්දු ආරියාස් මැතිතුමා, මැයි 03 වැනි සඳුදා හේග් හි පිහිටි එම සංවිධාන මූලස්ථානයේ පැවති උත්සවයක දී, එම සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිතවරිය ලෙස අක්ත ගන්වන ලද තානාපති අරුණි රණරාජා මැතිනියගේ අක්තපත්‍ර පිළිගත්තේය.

තානාපති රණරාජා මැතිනිය පිළිගැනීමෙන් අනතුරුව, අධ්‍යක්ෂ ජනරාල්වරයා රසායනික අවි නිරායුධකරණය සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් OPCW විසින් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය එතුමිය දැනුවත් කළ අතර, නව හා මතුවෙමින් පවතින රසායනික අවි තර්ජන සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා OPCW අපේක්ෂා කරන ආකාරය මෙන්ම, OPCW සාමාජික රටවල ධාරිතා වර්ධනය සඳහා එහි ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන කෙම්ටෙක් මධ්‍යස්ථානය හරහා සහාය වීම පිළිබඳව විස්තර කළේය.

වසර ගණනාවක් තිස්සේ OPCW විසින් සපයන ලද පුහුණු ආධාර ඇතුළුව, රසායනික පරිහරණය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ධාරිතාවය ගොඩනැගීම සඳහා OPCW විසින් ලබා දෙන සහාය පිළිගත් තානාපතිවරිය, දේශීය රසායනික විද්‍යාඥයින්ගේ ධාරිතා වර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු හුවමාරුව, ශ්‍රී ලංකාවේ රසායනාගාර සේවා වැඩිදියුණු කිරීමට සහාය වීම, රසායනික ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ රසායනික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම යන අංශවල තවදුරටත් හවුල්කාරිත්වයක් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් OPCW හි තනතුරු හොබවා ඇති බව සිහිපත් කළ තානාපති රණරාජා මැතිනිය, ශ්‍රී ලංකාවේ පොහොසත් මානව සම්පත් සංචිතය තුළින් සංවිධානය වෙත සිය දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා උනන්දු වන බව පැවසුවාය.

2019 දෙසැම්බර් මාසයේ දී පැවති ආසියානු කලාපයේ OPCW හි සාමාජික රටවල් සඳහා වන “රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව සහ ආරක්ෂක කළමනාකරණය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා සමාන ජාත්‍යන්තර හා කලාපීය උත්සව අංග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව නිත්‍ය සත්කාරක රටක් ලෙස සලකන ලෙස තානාපති රණරාජා මැතිනිය OPCW දිරිමත් කළාය.

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් රසායනික අවි භාවිතය වැළැක්වීම සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් සහ කැපවීමක් තිබිය යුතු බවත්, දේශපාලනික වශයෙන් පොළඹවන ලද න්‍යායපත්‍රවලට යටත් නොවිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල් සහ තානාපතිතුමිය යන දෙදෙනාම අවධාරණය කළහ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තානාපති ඔඩෙට් මෙලෝනෝ මැතිතුමා, විදේශ සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජ්‍ය කැබිනට් ප්‍රධානී යන මහත්වරු මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

රසායනික අවි සම්මුතිය සඳහා එක් මුල් අත්සන් කරුවකු වන ශ්‍රී ලංකාව, 1992 ජනවාරි 14 වැනි ඊට දින අත්සන් තබා, 1994 අගෝස්තු 19 දින අනුමත කරන ලද අතර, OPCW හි අභිලාෂයන් සඳහා දැඩි ලෙස කැපවී සිටිමින්, සම්මුතිය යටතේ සිය යුතුකම් අඛණ්ඩව ඉටු කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
හේග්

2021 මැයි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close