සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021

සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021

2021 මැයි 3-5 දිනවල දී අතථ්‍ය ලෙස පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව, සාර්ක් මුදල් අමාත්‍යවරුන්ගේ දහසයවැනි අවිධිමත් රැස්වීම 2021 මැයි 05 දින ප.ව. 1.30 සිට ප.ව 3.30 දක්වා (මැනිලා වේලාව) අතථ්‍ය ලෙස පැවැත්විණ. සියලුම සාර්ක් සාමාජික රටවල ගරු මුදල් අමාත්‍යවරුන්/ නියෝජිතයින් සහභාගී වූ මෙම රැස්වීම පවත්වන ලද්දේ, නේපාලයේ ගරු මුදල් අමාත්‍ය එච්.ඊ. බිෂ්ණු ප්‍රසාද් පෝඩෙල් මැතිතුමාගේ සභාපතිත්වයෙනි.

එතුමාගේ ආරම්භක ප්‍රකාශයේ දී, සභාපතිවරයා සාර්ක් ආයතනයට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ස්තූතිය පුද කළේය. මෙම අතථ්‍ය රැස්වීම සඳහා දෙවැනි වරටත් සාර්ක් මහලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සකසන ලද විශිෂ්ට විධිවිධාන එතුමා අගය කළේය. කොවිඩ්-19 වසංගතය විසින් ඇති කරන ලද දැවැන්ත අභියෝගයන් දක්වමින්, වසංගතයට සහ ආර්ථිකයේ වැදගත් අංශ කෙරෙහි එහි අහිතකර බලපෑම්වලට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීතාව සහ සාමූහික ප්‍රයත්නයන් ප්‍රමුඛතාවය විය යුතු බව ද එතුමා සඳහන් කළේය.

සාර්ක් මහලේකම් ඇසල ආර්. වීරකෝන් මැතිතුමා, “කොවිඩ්-19 වෙතින් ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීම: සියල්ල ඇතුළත් සහ ඔරොත්තු දෙන වර්ධනයක් කරා” යන මෙම රැස්වීමේ තේමාව ඔස්සේ ප්‍රකාශයක් කරමින්, සාර්ක් සාමාජික රටවල ආර්ථිකයන් කෙරෙහි වසංගතයේ අහිතකර බලපෑම් සහ ඒවා සමඟ කටයුතු කිරීමට හා ඒවාට පිළියම් යෙදීම සඳහා එන්නත් විශ්වීයකරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ඉස්මතු කළේය. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සාමූහික ක්‍රියාකාරිත්වයේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේය.

විශේෂයෙන් සාර්ක් කොවිඩ්-19 හදිසි අරමුදලක් පිහිටුවීම සඳහා ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවෙ සඳහා සාර්ක් නායකයාගේ එකඟතාවය සහ සියළුම රටවල් ඒ සඳහා සිය ස්වේච්ඡා දායකත්වය ලබා දීමට ප්‍රතිඥා දී තිබීම ඇතුළුව, වසංගතයේ අහිතකර බලපෑම් විසඳීම සඳහා සාමාජිකයින් විසින් ගන්නා ලද ක්ෂණික හා කඩිනම් ප්‍රතිචාර පෙන්වා දීම එතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන අංශයේ වැඩි ආයෝජන වැනි මැදිහත්වීම් සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවර්ධන හවුල්කරුවන් සමඟ වඩාත් සහයෝගී හා නව්‍යකරණ ව්‍යාපෘති මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී අඛණ්ඩව සිදු කළ යුතු බව ද එතුමා සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති (මෙහෙයුම් I) ෂික්සින් චෙන් මහතා ආසියානු සංවර්ධන බැංකුව සහ සාර්ක් අතර සහයෝගීතාවයේ තත්ත්වය සමඟ කලාපය සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව විසින් කර ඇති කටයුතු සහ මූල්‍ය කැපවීම් පිළිබඳව සභාවට විස්තර කළේය. විශේෂයෙන් කොවිඩ්-19 සහ එහි ඍණාත්මක බලපෑම් සැලකිල්ලට ගනිමින්, කලාපයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිය සඳහා සාර්ක් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීම ඔහු යළි තහවුරු කළේය.

වසංගතයේ බලපෑමට එරෙහිව සටන් කිරීම හා එය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඔවුන් ලබා ඇති ආර්ථික ප්‍රගතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යවරුන්/ නියෝජිත ප්‍රධානීන් රැස්වීමේ දී විස්තර කළහ. ඔවුන්ගේ ආර්ථික වර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ලද දායකත්වය අගය කරන ලද අතර, කලාපයේ ජනතාවගේ යහපත උදෙසා සිය පූර්ණ හැකියාවන් ළඟා කර ගැනීම සඳහා සාර්ක් සංවිධානය තවදුරටත් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි අපේක්ෂාව පළ කරන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ ආර්ථික විද්‍යා හා කලාපීය සහයෝගිතා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ අධ්‍යක්ෂ ජනරාල් යසුයුකි සවාඩා මහතා මෙම රැස්වීමේ වැදගත් තේමාව වන “කොවිඩ්-19 වෙතින් ආර්ථික ප්‍රකෘතිය: සියල්ල ඇතුළත් හා ඔරොත්තු දෙන වර්ධනයක් කරා” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක් කළේය. වසංගතයේ වර්තමාන තත්ත්වය, එමඟින් ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් සහ කලාපයේ තිරසාර, හරිත වර්ධනය සඳහා  වන අභියෝග සහ අවශ්‍ය ක්‍රියාමාර්ග මෙම ඉදිරිපත් කිරීම මගින් ඉස්මතු කරන ලදී.

කත්මණ්ඩු

2021 මැයි 07වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close