හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ

 හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී, බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවකින් පසුවන බව ජනවාරි 12 වැනි බදාදා දින හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය පීටර් සියාර්ටෝ මැතිතුමා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ප්‍රකාශ කළේ ය. අමාත්‍ය සියාර්ටෝ මැතිතුමා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී සංචාරයක නිරතව සිටියේ ය.

ද්විපාර්ශ්වික උනන්දුවක් සහිත ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා ඵලදායී සාකච්ඡා පැවැත්වූ හ. සංහිඳියාව සම්බන්ධයෙන් වන අවශේෂ ගැටලු විසඳීමේ දී හංගේරියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සංවේදී ප්‍රවේශය අගය කළ පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිසන්ධාන කටයුතුවල ප්‍රගතිය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ පවතින විශ්වසනීය දේශීය යාන්ත්‍රණය පිළිබඳව හංගේරියානු අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. හංගේරියාව යුරෝපා සංගමයේ (EU) සාමාජිකයෙකු වන බවත්, ශ්‍රී ලංකාව යුරෝපා සංගමය තුළ වැදගත් මෙන්ම ස්ථිර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යන බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය.

වත්මන් ගෝලීය සන්දර්භය තුළ වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ආර්ථික සබඳතා පුළුල් කිරීමේ සහ තීව්‍ර කිරීමේ වැදගත්කම අමාත්‍යවරුන් දෙදෙනා විසින් අවධාරණය කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකා-හංගේරියානු ආර්ථික සහයෝගිතා ඒකාබද්ධ කොමිසමේ (JCEC) දෙවැනි සැසිවාරය මෙම වසරේ නුදුරු දිනයක කැඳවීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදන යුරෝපා සංගම් වෙළඳපොළට යොමු කිරීමේ දී තීරුබදු රහිත ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබන බැවින්හංගේරියානු වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ දී යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් (GSP plus) පහසුකම ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී සඳහන් කළේ ය. දෙරට අතර පවත්නා ද්විත්ත්ව බදුකරණ ගිවිසුම නිම කිරීම මෙන්ම විද්‍යාව හා තාක්‍ෂණයආයුර්වේදය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා සහයෝගීතාව පිළිබඳව ද උනන්දුව ප්‍රකාශ විය.

හංගේරියාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සමඟ මෙම සංචාරයට සහභාගී වූ අමාත්‍ය සියාර්ටෝ මැතිතුමා, ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයේ අනුග්‍රහය යටතේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සමඟ එක්ව ශ්‍රී ලංකා-හංගේරියානු ව්‍යාපාරික සංසදය ආරම්භ කළේ ය.

සංවර්ධන සහයෝගීතාව ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත් අංගයක් බව සඳහන් කළ පීරිස් මැතිතුමා, යූරෝ මිලියන 52 ක සහනදායී ණයක් ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහය වීම සම්බන්ධයෙන් හංගේරියාව වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේ ය. වත්මන් ව්‍යාපෘති අතරට කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම ඇතුළත් වේ. අමාත්‍ය සියාර්ටෝ මැතිතුමා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ඇරයුමකට අනුව,  කොහුවල ගුවන් පාලම ඉදි කෙරෙන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ඔවුහු එම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබූ හ.

2022-2024 වසර සඳහා වන ස්ටිපෙන්ඩියුම් හංගේරිකුම් (Stipendium Hungaricum) වැඩපිළිවෙළේ රාමුව තුළ ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අමාත්‍ය සියාර්ටෝ මැතිතුමාගේ මෙරට සංචාරයේ තවත් ඵලදායී ප්‍රතිඵලයක් විය. මෙම වැඩපිළිවෙළ යටතේ ඉංජිනේරුවිද්‍යාආර්ථික විද්‍යාව සහ ජල කළමනාකරණය ඇතුළු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්‍රයන් හි උපාධි සහ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ට හංගේරියාව විසින් වාර්ෂිකව ශිෂ්‍යත්ව 20ක් පිරිනමනු ලැබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන 86 වැනි රට ශ්‍රී ලංකාව යි. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්  මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබී ය.

ද්විපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍රය තුළ, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යංශ දෙක අතර නිරන්තර දේශපාලන උපදේශන පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සිය එකඟත්වය පළ කළ හ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේගෝලීය වශයෙන් එන්නත් බෙදා හැරීම සමානාත්මතාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාව වැනි යුරෝපීය රටවල් යුරෝපා සංගමය හරහා සහ ද්විපාර්ශ්වික වශයෙන් ලබා දෙන සහයෝගය අමාත්‍ය පීරිස් මැතිතුමා අගය කළේ ය.

 විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මෙම ද්විපාර්ශ්වික හමුව සඳහා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ. හංගේරියානු නවෝත්පාදන හා තාක්ෂණ අමාත්‍යංශයේ වෙළඳ ප්‍රතිපත්ති සහ පාරිභෝගික සුරක්ෂණය පිළිබඳ රාජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් සෙරෙස්නීස් මැතිතුමා සහ හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද අමාත්‍ය සියාර්ටෝ මැතිතුමා සමඟ මෙම හමුවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close