සිව්වැනි ආසියානු (අවුරුදු 18න් පහළ) මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි

සිව්වැනි ආසියානු (අවුරුදු 18න් පහළ) මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි

වයස අවුරුදු 15 සිට 17 දක්වා වන ආසියානු මළල ක්‍රීඩකයින් සඳහා ද්විවාර්ෂිකව මහාද්වීපික වශයෙන් පැවැත්වෙන මළල ක්‍රීඩා තරගයක් වන සිව්වැනි ආසියානු (අවුරුදු 18න් පහළ) මළල ක්‍රීඩා ශූරතාවලිය-2022, 2022 ඔක්තෝබර් 13 සිට 16යන දිනවල කුවේට් නගරයේ අහමඩ් අල් රෂ්දාන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආසියානු රටවල් 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, ද්විවාර්ෂිකවපැවති සිව්වැනි (අවුරුදු 18න් පහළ) ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහ නිලධාරීන් 03 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනාගෙන් 05 දෙනෙකු ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් පදක්කම් ලබාගැනීමට සමත් වූහ. තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ කුවේට් හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔල්වරසන් දෙමින් සිය සහයෝගය දැක්වූහ.

මීටර 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ කසුනි නිර්මාලි ක්‍රීඩිකාව 02 වැනි ස්ථානය හිමි කරගනිමින් රිදී පදක්කමක් දිනා ගත්තාය. පිරිමි මීටර් 400 ධාවන ඉසව්වට සහභාගී වූ ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තෙමින්ද යන ක්‍රීඩකයන් පිළිවෙලින් 02වැනි සහ 03 වැනි ස්ථාන දිනා ගනිමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් හ.

පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගී වූ දෙනෙත් අනුහස් සහ ලෙසඳු අර්ථවිදු යන ක්‍රීඩකයන්  පිළිවෙලින් 02 වැනිසහ 03 වැනිස්ථාන හිමි කරගනිමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් හ.

මළල ක්‍රීඩා සංගමයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂ පාලිත ජයතිලක, කණ්ඩායම සමඟ සහභාගී වන කාන්තා නිලධාරිනී ඉමල්කා නෙරංජලා රණවීර සහ කණ්ඩායමේ පුහුණුකරු වන ක‍්‍රිෂාන්ත කුමාර යන මහත්ම මහත්මීන් ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ මෙම තරගාවලියට සහභාගී වී ඔවුන්ගේ සාර්ථක සහභාගීත්වය සඳහා සිය සහය ලබා දුන්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේට්

 

2022 නොවැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close