ශ්‍රී ලංකාව 5 වැනි CIIE ප්‍රදර්ශනය සඳහා සාර්ථකව සහභාගී වේ

ශ්‍රී ලංකාව 5 වැනි CIIE ප්‍රදර්ශනය සඳහා සාර්ථකව සහභාගී වේ

ශ්‍රී ලංකාව, 2022 නොවැම්බර් 11 වැනි දින අවසන් වූ ෂැංහයි චයිනා ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE) ආහාර පාන සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශ නියෝජනය කරමින් සාර්ථක සහභාගීත්වයක් විදහා දැක්වී ය.  ප්‍රධාන වශයෙන් චීනයේ සිටින නියෝජිතයන් ඇතුළු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිවල සිටිමින් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වූහ.

මෙහිදී පොල්තෙල්, පොල් වතුර, කිතුල් හකුරු, කිතුල් පැණි, බිස්කට්, කජු, කළු ගම්මිරිස්, මැණික් සහ හස්ත කර්මාන්තවලින් සමන්විත ශ්‍රී ලාංකික නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් හා උනන්දුවක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ සිට සිදු කළ සජීවී විකාශනය හේතුවෙන් දිනකට RMB 500,000 කට අධික වටිනාකමකින් යුත් විකුණුම් සහ වෙළඳ විමසීම් 150 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිවිය. තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ අමාත්‍ය උපදේශක (වාණිජ) මෙම සජීවී විකාශනය සඳහා සහභාගී වූහ.

5 වැනි CIIE ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ සම්භාවනීය ආරාධිතයෙකු ලෙස තානාපතිවරයාට ඇරයුම් ලැබිණි. එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ෂී ජින් පිං මැතිතුමාගේ දේශනයෙන් පසුව උදා වූ දෙවැනි දේශන කාලය වෙන් කරන ලදී. චීන - ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ආකර්ෂණීය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි දෙක ඔවුන්ගේ වියදමින් සහ CZK නමැති ප්‍රාදේශීය කණ්ඩායමේ සහයෝගයෙන් ඉදි කළ අතර, ඔවුන්ගේ සැපයුම්වලින් විශාල ප්‍රමාණයක් විකිණීමට ද සමත්  වූහ.

තානාපතිවරයා CCTV, CGTN, Phoenix TV, Douyin සහ අනෙකුත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි මගින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී විය. එතුමා 5 වැනි CIIE සංස්කෘතික, සංචාරක සහ සෞඛ්‍ය සමුළුවේ ආරාධිත කථිකයා විය. තවද එතුමා කන්වර්ජන්ට් සයන්ස් ඇන්ඩ් ඉනොවේෂන් හෝල්ඩින්ග්ස් හි සභාපති මාර්ක් ෂැන්ග් මහතා විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. එතුමා හුයි ජු කෙචුවාන්ග් හෝල්ඩින්ග්ස් හි සභාපති මාර්ක් ෂැන්ග් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර වසංගතය ආශ්‍රිත සංචාරක සීමාවන් ඉවත් කළ පසුව චීනයේ  ඉහළ පෙළේ සංචාරකයන් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පවත්නා විකල්ප  ගවේෂණය කළේ ය.

 තානාපති ආචාර්ය කොහොන මැතිතුමා, ෂැංහයි මැණික් හා ජේඩ් හුවමාරු ආයතනය විසින් පවත්වන ලද CIIE ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන කථිකයා වශයෙන් ද සහභාගී විය.

ෂැංහයි ලංකා අත්දැකීම් කණ්ඩායම සමඟ එක්ව, ‘Lost in Thailand’ ආකාරයේ චිත්‍රපටයක් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීන - ශ්‍රී ලංකා චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී සාකච්ඡා කළේ ය.

සුවිසල් ජිං අන් විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වන හුයි මිං හිමිපාණන් හමු වූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ විහාරස්ථානවලට සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ආධාර කිරීම ඇතුළුව 2018 වසරේ දී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

වෙළඳ ප්‍රවර්ධනය සඳහා වූ බාඕඩින් සංගමය “තීරය සහ මාර්ගය” වැඩපිළිවෙලට අනුව, හෙබෙයි හි බාඕඩින් තුළ ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන කුටියක් ඉදිකිරීම සඳහා යොමු කළ ඇරයුමට අනුව, තානාපතිවරයා එහි පැවති උත්සවය සඳහා සහභාගී විය.

රට පුරා පිහිටි සිනොපෙක් වෙළඳසැල් සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගික ද්‍රව්‍ය සපයා දීම පිළිබඳ Beijing Sri Road -Sinopec නමැති අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) නාලිකා කොඩිකාර මහත්මිය සහභාගී වූවා ය. එතුමා  සිනොපෙක් විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ද සහභාගී විය.

අමාත්‍ය උපදේශකවරිය (වාණිජ්‍ය), චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය ඉස්මතු කෙරෙන ගන්නාන් ප්‍රවර්ධන වැඩසටහන සහ ලංකා තේ රස බැලීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා ද සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 නොවැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close