සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 2022.06.30 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේ දී, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පවතින ඉන්ධන අර්බුදය ඇතුළුව වර්තමාන ආර්ථික තත්ත්වය සහ එමඟින් ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රයන් කෙරෙහි ඇති කෙරෙන ඍණාත්මක බලපෑම පිළිබඳව විස්තර කළේය. සෞදි අරාබි රාජධානිය සමඟ බලශක්ති සහයෝගීතාව සඳහා මාර්ග සලසා ගැනීම අතිශයින් හදිසි කාරණයක් ලෙස සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා 2022 ජූලි 02 සිට 05 දක්වා දිනවල දී සෞදි අරාබියේ නිරත වන සංචාරය සඳහා පහසුකම් සලසන ලෙස ද ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා - සවුදි අරාබියානු ද්විපාර්ශ්වික සබඳතාව හා බැඳුණු වැදගත්කම පිළිබඳව අවධාරණය කළ සවුදි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට සහතික විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close