සංචාරක මෙහෙයුම් නියෝජිත කණ්ඩායම් දෙකක් සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සත්කාරකත්වය සපයයි

සංචාරක මෙහෙයුම් නියෝජිත කණ්ඩායම් දෙකක් සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සත්කාරකත්වය සපයයි

 

ඉන්දියානු සංචාරකයන් සඳහා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමත් සමඟම, චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ (TAAI) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සම්මේලනයේ (TAFI) බාහිර සංචාරක මෙහෙයුම් නියෝජිත පිරිස් දෙකක් සඳහා සත්කාරකත්වය දරනු ලැබීය .  නියෝජිත පිරිස  සඳහා පිළිවෙලින් 2021 සැප්තැම්බර් 23 සහ 24 යන දිනවල ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දී සත්කාරකත්වය ලබා දෙන ලදි.

මෙම  රැස්වීම් සංවිධානය කිරීමේ අරමුණු වූයේ, කොවිඩ් වසංගතය හේතුවෙන් දිගු කලක් මුළුල්ලේ පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව, නැවත වරක් ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තය බවට  ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබා ගැනීම යි.

නියෝජිත පිරිස ඇමතූ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා, නව සාමාන්‍යකරණය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි දැක්ම පිළිබඳව නියෝජිතයන් දැනුවත් කළ අතර, ඉන්දියානු සංචාරකයන් බහුල වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා වන “රාමායන යාත්‍රා”, “මුරුගන් මාර්ගය” සහ “පංචලිංගම් මාර්ගය” යන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ පවතින සූදානම අවධාරණය කළේය.

චෙන්නායි, බැංගලෝර්, ට්‍රිචි, මදුරා, කොචින්, ත්‍රිවාන්ද්‍රම් සහ හයිද්‍රාබාද් ඇතුළුව කොළඹ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා ඇති ගුවන් සබඳතාවය අවධානයට ලක් කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නායි  හි කළමනාකාර නිලින පතිරණ මහතා සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය. තවද, 2021 දෙසැම්බර් 31 වැනි දින තෙක් ‘එකක් මිලදී ගතහොත් එකක් නොමිලයේ ලැබෙන’ (buy one, get one free) දීමනාව මගීන්ට ලබා ගත හැකි බව ද ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉන්දියාව සඳහා විවෘත කළ බව සංචාරකයන්ට දැනුවත් කිරීම සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ගෙන ඇති වැඩපිළිවෙළ TAAI නියෝජිත ප්‍රධානී සහ TAAI දකුණු කලාපයේ ලේකම් කරුණාකරන් මහතා ඇගයීමට ලක් කළේ ය. එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කාලසටහන් වෙනස් කිරීම සහ සංචාරකයන්ට ලබා දෙන සම්මත මෙහෙයුම් පටිපාටි (SOP) වැඩි දියුණු කිරීම ඇතුළත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතු යැයි ඔහු යෝජනා කළේ ය.

TAFI දකුණු කලාපයේ සභාපති අරුල් ලාසරන් මහතා, ඉන්දියානු සංචාරක හා සංචාරක ක්‍රියාකාරීන් සඳහා සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අවධාරණය කළ අතර, විශේෂයෙන්ම MICE සංචාරක ව්‍යාපාරය සහ ගමනාන්ත මංගල සංචාරකයන් වෙනුවෙන් නියම කොට ඇති බදු/අයබදු ඉවත් කිරීමේ වැදගත්කම විස්තර කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි පසු සංචාරකයන් අනුගමනය කළ යුතු පියවර, මේ වන විට පවතින වීසා බලපත්‍ර පටිපාටිය සහ PCR පරීක්ෂණ පැවැත්වීම ආදිය පිළිබඳව ප්‍රශ්න රාශියක් ප්‍රශ්නෝත්තර සැසිය අතරතුර දී සහභාගි වූ පිරිස විසින් විමසීමට ලක් කෙරිණ. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහ කණ්ඩායම මෙම ගැටලුවලට සාර්ථකව පිළිතුරු යොමු කළ හ. සාමාන්‍ය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම වඩාත් ප්‍රායෝගික වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ආකාරය දක්වන යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය වෙත ලැබුණු අතර,  එමඟින් නව සාමාන්‍යය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට හැකි වේ. ඉන්දියානු සංචාරකයන්ට වඩාත් ආරක්‍ෂිත හා සුවපහසු සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ඔවුන්ගේ යෝජනා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ අනෙකුත් රේඛීය නියෝජිතායතන වෙත ලබා දීමට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එකඟ විය.

මෙම සාකච්ඡාව අවසන් කරමින්, ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වැනි ලේකම් (වාණිජ) දිලංග හෙට්ටිආරච්චි මහතා වසර ගණනාවක් මුළුල්ලේ TAAI සහ TAFI යන දෙඅංශයෙන්ම ලබා දුන් ශක්තිය අගය කළ අතර, ශ්‍රී ලංකාව ඉන්දියානු සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දැඩි සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය.

 TAAI සහ TAFI යනු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සහ සංචාරක මෙහෙයුම් සංගම් වන අතර, ඒවා රටපුරා සැලකිය යුතු ප්‍රමාණයක සාමාජිකත්වයක් ද ලබා ඇති අතර ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරති.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය
චෙන්නායි

2021 සැප්තැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close