ශ්‍රී ලංකා රජය කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශයේ ශ්‍රී ලංකාව පිළිබඳව අඩංගු සාවද්‍ය සහ යල් පැන ගිය තොරතුරු නිරවද්‍ය කරයි

ශ්‍රී ලංකා රජය කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශයේ ශ්‍රී ලංකාව පිළිබඳව අඩංගු සාවද්‍ය සහ යල් පැන ගිය තොරතුරු නිරවද්‍ය කරයි

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොවන, සාවද්‍ය සහ යල් පැන ගිය තොරතුරු ඇතුළත් කර 2022 ජනවාරි 13 වැනි දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශය කෙරෙහි විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මෙම සංචාරක මාර්ගෝපදේශය තුළ රටේ ආර්ථික සහ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු මෙන්ම, සංචාරය සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම සහ විදේශිකයන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත්ව ඇත. එබැවින්, සැබෑ යථාර්ථයන් පිළිබඳව කැනේඩියානු බලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම අමාත්‍යාංශය පහත පියවර ගෙන ඇත:

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හදිසියේ හටගත් අභියෝගවලට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දුන් අතර, මේ වන විට සියලුම රාජ්‍ය සේවා, ආයතනික සහ ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු කොවිඩ්-19 ආශ්‍රිත සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශවලට අනුකූලව බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරමින් සාමාන්‍ය තත්ත්වයකට පත් කර ඇත.  දිවයින පුරා සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව ඇති අතර, එන්නත්කරණය සඳහා යෝග්‍ය වූ ජනගහණයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත. වයස අවුරුදු 20 ට වැඩි ප්‍රජාව සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙළක් ද  ආරම්භ කර ඇත.

සී.එන්. එන්. (CNN) මාධ්‍ය ජාලයේ “Where to Travel in 2022” සම්මානය, ග්ලෝබල් වෙල්නස් ආයතනය (Global Wellness Institute), කොන්ඩ් නස්ට් ට්‍රැවලර් (Conde Nast Traveler) ‘ 2021 Reader's Choice’ සම්මාන මෙන්ම, ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සහ නැෂනල් ජෝග්‍රෆික් ට්‍රැවල් (National Geographic Travel)  මගින් 2019 වසරේ දී හිමි කර ගත් සම්මාන කිහිපයක් ඇතුළුව ජාත්‍යන්තර තලය තුළ ගෞරවයට පාත්‍ර වීමට මෙම වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවට හැකි විය . ගෝලීය වශයෙන් සංචාරක ගමන්  ක්‍රමයෙන් සාමාන්‍යකරණය වීමත් සමඟම, කැනඩාවේ සහ ලොව වෙනත් ප්‍රදේශවල සිටින සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව වෙත පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇතත්, දූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් මෙම වසරේ දී සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව සඳහන් කිරීම වැදගත් ය. ආහාර සුරක්ෂිතතාව, නීතිය හා සාමය වත්මන් රජයේ සුවිශේෂී  ප්‍රමුඛතා වන අතර, අත්‍යාවශ්‍ය සියලුම ද්‍රව්‍ය ලබා දීම රජයේ කාර්යයන්හි වැදගත් අංගයක් ලෙස සැලකේ. එබැවින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව මහජනතාවට ලබා දීමටත්, අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය තොග ඇති බවට සහතික කිරීමටත් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.

ආරක්‍ෂක තත්ත්වය ගත් කල, ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට අනුකූලව ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අවම හමුදාවක් රඳවාගෙන යන අතර, රටේ වෙනත් ස්ථානවල ද මීට සමාන අයුරින් කටයුතු කෙරේ. පොලිසිය හෝ ආරක්ෂක අංශ විසින් අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබා ගැනීමක් සිදු නොවේ. 2009 වසරේ දී ත්‍රස්තවාදී යුධ ගැටුම් අවසන් කිරීමෙන් අනතුරුව, ආරක්ෂක අංශ විසින් විදේශීය රජයන් සහ ජාත්‍යන්තර නියෝජිතායතන කිහිපයක තාක්ෂණික සහාය ඇතිව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ පුළුල් මෙහෙයුමක් සිදු කරන ලදි. 2014 වසරේ දෙසැම්බර් මස වන විට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 94%ක් අවසන් කර තිබූ අතර, මේ වන විට එම අගය 98.7% දක්වා ඉහළ ගොස් ඇත. ‘ත‍්‍රස්තවාදී තර්ජනයක් පවතින’ බවත්, ‘ඉදිරියේ දී සිදුවිය හැකි ප‍්‍රහාර වැළැක්විය නොහැකි බවත්’ එම මාර්ගෝපදේශයේ සඳහන් වේ. 2019 වසරේ නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට තේරී පත් වූ දා සිට ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීම සඳහා රට පුරා මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් සියලුම ක්‍රියාමාර්ග ගනු ලැබීම ද විශේෂත්වයකි. අදාළ ආරක්ෂක බලධාරීන්ගේ සුපරීක්ෂාකාරී සහ ක්‍රියාශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය හා සබැඳි එකදු සිදුවීමක් හෝ සිදු නොවීම තවත් එක් විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් මුළුල්ලේ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවූ හරවත්, විශ්වීය උරුමයක් සහිත බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටකි. මෙරට තුළ සිවිල් නොසන්සුන්තාවයක් නොමැත. ශ‍්‍රී ලංකාව සතුව ශක්තිමත් ආයතනික ව්‍යුහයක්, දිගු ඉතිහාසයක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් සහ ප‍්‍රබල සිවිල් සමාජයක් පවතී. ලිබරල්වාදී ප‍්‍රජාතන්ත්‍රික සම්මතයන් සහ සම්ප‍්‍රදායන් පවතින වෙනත් ඕනෑම රටක මෙන්ම ශ‍්‍රී ලංකාව තුළද සාමකාමී පෙළපාලි පැවැත්වීම සඳහා අවකාශය ලබා දීම හේතුවෙන් ජනතා ඒකරාශීවීම් සඳහා වන නිදහස සුරක්ෂිත වී ඇත. එවැනි සාමකාමී පෙළපාලි බාධාවකින් තොරව පැවැත්වීම සඳහා පොලිසිය ඉඩහසර ලබා දී ඇත. මෙවැනි පෙළපාලි ආදී කටයුතු හේතුවෙන් සංචාරකයින්ගේ සුවපහසුව, ගමනාගමනය, ආරක්ෂාව හෝ ක්‍රියාකාරකම් යනාදියට කිසිදු ආකාරයකින් බාධා එල්ල නොවේ.

කාන්තා සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි සංචාරක පොලිස් ස්ථාන ඇතුළු පොලිස් සේවය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මෙම වැඩසටහන යටතේ දිවයිනේ සියලුම ජනප්‍රිය සංචාරක ගමනාන්තවල පිහිටි පොලිස් ස්ථාන වල කාන්තා පොලිස් නිලධාරිනියන් වැඩි වශයෙන් සේවයේ යෙදවීමෙන් පොලිස් ආරක්ෂාව ඉහළ නැංවේ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සංචාරක පොලිස් ප්‍රාදේශීය ඒකක, ප්‍රාදේශීය පොලිස් ස්ථාන සහ රෝහල් යනාදී වශයෙන් හදිසි අවස්ථාවලදී සම්බන්ධ විය හැකි ඒකකවල දුරකථන අංක මාර්ගගත ලෙස ලබා ගැනීමට හැකි ය.

ශ්‍රී ලංකාව යනු ඉහළ අධ්‍යාපන මට්ටමක්, ඉංග්‍රීසි භාෂා දැනුමක් සහ සාක්ෂරතාවක් සහිත මිත්‍රශීලී මිනිසුන් වෙසෙන දූපත් රාජ්‍යයක් වන අතර, එතුළ සංචාරකයින්ට හෝ විදේශිකයන්ට එල්ල වන හිරිහැර හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉතා දුලබ වේ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි මස 19 වැනි දින

Please follow and like us:

Close