​විදේශ අමාත්‍යතුමා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය බහුවිධ හවුල්කාරිත්වය පිළිගනී

​විදේශ අමාත්‍යතුමා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය බහුවිධ හවුල්කාරිත්වය පිළිගනී

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය භුක්ති විඳින, හවුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ඓතිහාසික බැඳීම් මත පදනම් වූ ‘අද්විතීය, බහුවිධ හවුල්කාරිත්වය’ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනවාරි 18 වැනි අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ දී, දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන් හි තරික් අහමඩ් සාමිවරයා හමුවූ අවස්ථාවේදීය. ඊට සමාන හැඟීම් පළකරමින්, සහයෝගීතාව සඳහා පෙළඹවීමක් ලබා දෙන හවුල්කාරිත්වයේ ස්ථිර ස්වභාවය අහමඩ් සාමිවරයා පිළිගත්තේය.

එක්සත් රාජධානියේ ‘ගෝලීය බ්‍රිතාන්‍යයක්’ පිළිබඳ දැක්මේ සන්දර්භය තුළ, ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ඇති අවස්ථාව පිළිගනිමින්, අනෙකුත් කරුණු අතර, දේශපාලන සබඳතා; වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු; ඉන්දියානු සාගර සහයෝගීතාව, ආරක්ෂක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම; දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්තිය; අධ්‍යාපනය සහ STEM; සහ රැකියා උත්පාදනය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශ්වය උනන්දුවක් දැක්වීය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලද, 2021 ඔක්තෝබර් මාසයේ ලන්ඩනයේ දී, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එලිසබෙත් ට්‍රස් මහත්මිය සමඟ පැවති තමාගේ ද්විපාර්ශ්වික හමුව පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සිහිපත් කළේය.

මෙම විදේශ අමාත්‍යාංශ දෙක අතර නිල මට්ටමේ උපදේශන ආරම්භ කිරීමේ පවතින වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළේය. පුද්ගලාන්තර සම්බන්ධතාවල ප්‍රබලත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වත්මන් හවුල්කාරිත්වයට සරිලන අයුරින් සැමරීම කෙරෙහි ද සාකච්ඡාව යොමු විය.

ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්, අනෙකුත් කරුණු අතර, ස්වාධීන කොමිෂන් සභාවල කාර්යයන්; ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා යෝජිත සංශෝධන සහ රාජ්‍ය ආයතන සහ පාලනය ශක්තිමත් කිරීමේ දී තිරසාර සංවර්ධන ඉලක්ක කවුන්සිලයේ සහ තිරසාර සංවර්ධන ඉලක්ක 16 සඳහා වන මෙහෙයුම් කමිටුවේ කටයුතු පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අහමඩ් සාමිවරයා දැනුවත් කළේය. දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ අඛණ්ඩව නිර්මාණාත්මක සම්බන්ධකම් පැවැත්වීම සඳහා රජයේ පවතින කැපවීම පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා යළි අවධාරණය කළේය.

එල්ටීටීඊ සංවිධානය එක්සත් රාජධානිය තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම තහවුරු කිරීම ඇතුළුව, ත්‍රස්ත මර්දන ක්‍ෂේත්‍රයේ දී ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට රජයේ හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාවන් එක්සත් රාජධානියේ සමෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අද්විතීය සම්පතක් බව දෙපාර්ශ්වයම හඳුනා ගත්හ. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ධනාත්මක ලෙස දායක වන, එක්සත් කිරීමේ ආඛ්‍යානයක් ගොඩනැගීම සඳහා ඩයස්පෝරාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් සියල්ල ඇතුළත් ප්‍රවේශයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

2021 නොවැම්බර් මස ග්ලාස්ගෝ හිදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (CoP 26) සාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ සුබපැතුම් පිරිනැමීය. CoP 26 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම් අගය කළ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා, පසු විපරම් ක්‍රියාමාර්ග සහ හරිත බලශක්ති මූලාරම්භයන්ට සහය දැක්වීම සඳහා ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව දැනුවත් කළේය. කොළඹ අගනගර ප්‍රදේශයේ පිහිටි ජෛව විවිධත්වයෙන් පොහොසත් තෙත් බිමක් වන බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමිය නැරඹීමට ද ගිය එතුමා, එහිදී කුඹුක් (Terminalia arjuna) පැලයක් ද රෝපණය කළේය.

ගෝලීය වෙළෙඳාම තුළ ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිගනිමින්, හවුල්කාරිත්වයේ ආර්ථික මානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව  දෙපාර්ශ්වයම එකඟ විය. ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය මෑතක දී ලන්ඩනයේ දී ආරම්භ කිරීම සාදරයෙන් පිළිගනිමින්, දෙපාර්ශ්වයම තවදුරටත් ශක්තිමත් ව්‍යාපාර අන්තර සබඳතා දිරිමත් කළහ.

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවතින සබඳතා දෙස අලුතින් බැලීම සඳහා ලැබී ඇති අවස්ථාව පිළිගනිමින්, රුවන්ඩාවේ කිගාලි හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහ බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට දෙපාර්ශ්වයම අපේක්ෂාව පළ කළහ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම, මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් විය. ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ රැකියා අවස්ථා ලබා දෙන මෙම අවබෝධතා ගිවිසුම සඳහා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් අහමඩ් සාමිවරයා අත්සන් තැබූහ.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම හමුවට සහභාගී වූහ. අහමඩ් සාමිවරයා සමඟ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මැතිනිය සහ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ තෙදින සංචාරයක් සඳහාය. මීට පෙර 2019 ඔක්තෝබර් මාසයේ දී සංචාරය කර ඇති එතුමාගේ දෙවැනි සංචාරය මෙයයි. මෙම සංචාරයේ දී අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  හමුවීමට නියමිත අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ද හමුවීමට නියමිතය. ව්‍යාපාරික ප්‍රජාව හමුවූ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා, උතුරු හා නැඟෙනහිර පළාත්වල ද සංචාරය කරනු ඇති අතර, එහිදී එතුමා අනෙකුත් කටයුතු අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මැතිතුමා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිතුමා ද හමුවනු ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close