තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සහයෝගීතාව සහ හවුල්කාරිත්වය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා සහයෝගීතාව සහ හවුල්කාරිත්වය

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජනවාරි 13 වැනි දින ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ බලධාරීන් අතර අන්තර් ක්‍රියාකාරී සැසි දෙකක් සංවිධානය කරන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මහත්මිය සහ එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ මෘදුකාංග සහ සේවා සමාගම් සඳහා වූ සංගමය (SLASSCOM) සහ තොරතුරු හා තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම හමුවට සහභාගි වූහ. ඉන්දුනීසියාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කවුන්සිලයේ සභාපති ආචාර්ය ඉල්හාම් හබීබි මහතා සහ එම කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ඉන්දුනීසියාව නියෝජනය කරමින් මීට සහභාගි වූහ.

විශිෂ්ටත්වයේ දිවයින වන ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් මුළුල්ලේ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ ගැටළු විසඳීමේ හැකියාව සම්බන්ධයෙන් කීර්තියට පාත්‍ර වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් මේ වන විට ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ සහ අප්‍රිකාවේ ඇති ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොළ වෙත සිය මෘදුකාංග නිෂ්පාදන සහ සේවා අපනයනය කරන බවත්, ඉන්දුනීසියාවේ සහ ආසියාන් හි ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය සඳහන් කළා ය.  තවද, අපනයන ආදායම ගත් කල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා මේ වන විට මෙරට 4 වැනි විශාලතම අපනයන ආදායම බවට පත්ව ඇත. ග්ලෝබල් සර්විස් සඟරාවට අනුව, නැගී එන ගෝලීය ගමනාන්ත පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයත්, 2017 වර්ෂයේ දී ඒ. ටී. කර්නීගේ ගෝලීය සේවා ස්ථානීකරණ දර්ශකයේ (GSLI) 11 වැනි ස්ථානයත්,  අක්වෙරළ සේවා සඳහා වන ගාට්නර් ගේ ප්‍රමුඛ ස්ථාන 30 අතර ස්ථානයක් හිමි කර ගැනීමත්, එක්සත් ජාතීන් ඉලෙක්ට්‍රොනික අයුරින් පැවැත්වූ රාජ්‍ය සමීක්ෂණයේ ‍ශ්‍රේණිගත කිරීමේ දකුණු ආසියාවේ 1 වැනි ස්ථානයත් හිමි කර ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියක් ලබා ඇත.

ඉහළ සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, දැරිය හැකි මිලකට ලබා ගත හැකි A ශ්‍රේණියේ කාර්යාල ඉඩ පහසුකම්, පුද්ගලික අංශය සතු කැපවූ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ටෙලිකොම් ක්‍රියාකරුවන් අට, ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පහ සහ දත්ත ආරක්ෂාව සඳහා වන රෙගුලාසි යනාදී වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පහසුකම් සහ විභවයන් ශ්‍රී ලංකාව නියෝජනය කළ සහභාගිවන්නන් විසින් විස්තර කරන ලදී. ඉන්දුනීසියානු පාර්ශ්වය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිය කැමැත්ත පළ කළ අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කළේ ය. ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර, දෙරටේ ආරම්භක ව්‍යාපාරකයන් සම්බන්ධ කිරීම සඳහා ආරම්භක ව්‍යාපාර සංසදයක් සංවිධානය කිරීමට ද එකඟ වූහ.

ඩිජිටල් ආර්ථිකයේ අවශ්‍යතාවලට අනුකූලව ශ්‍රම බලකායේ නිපුණතාව සහ මානව සම්පත් පුහුණු කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව තුළ පවත්නා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ පවතින ලෝක මට්ටමේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පහසුකම් ඉස්මතු කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිනෙක් විශ්වවිද්‍යාලය(CINEC), ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය (SLTC), සහ එඩිත් කෝවාන් විශ්වවිද්‍යාලය මෙම අවස්ථාවට සහභාගී විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ මාර්ග සිතියමක් සැකසීම සඳහා වන පසු විපරම් හමුවක් ද මෙම මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close