ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය සිය පළමු වාර්ෂික මහා සභා රැස්වීම 2023 ජනවාරි 12 වැනි දින ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ය.

ශ්‍රී ලංකා - එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය හිටපු විදේශ කටයුතු අමාත්‍යතුමා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතවරයාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් 2021 ඔක්තෝම්බර් 26 වැනි දින ආරම්භ කරන ලදී. ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ශ්‍රී ලංකා- එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය පිහිටුවන ලදී. තේ, ඇඟලුම්, ෆින්ටෙක් සහ තොරතුරු තාක්ෂණය, ආහාර පාන, සංචාරක ව්‍යාපාරය සහ සේවා ඇතුළු විවිධ අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන ප්‍රධාන කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් මෙම වාණිජ මණ්ඩලය සමන්විත වේ.

2022 වසරේ දී පැවැත්වූ ‘ශ්‍රී ලංකා තාක්ෂණ සංසදය 2022’ සහ ව්‍යාපාර සහ ආයෝජන සංසද කිහිපයක් ඒකාබද්ධව පැවැත්වීම ඇතුළුව වාණිජ මණ්ඩලයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන සහයෝගය සහ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය ලබා දෙන මගපෙන්වීම වාර්ෂික මහා සභා රැස්වීමේ දී අදහස් දැක්වූ වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙහාන් සිල්වා මහතාගේ පැසසුමට ලක්විය. 2023 සඳහා සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් ගත් කල, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විශේෂයෙන් එක්සත් රාජධානියේ සිටින්නන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිගැන්වීමේ වැඩසටහනක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

ප්‍රධාන දේශනය පැවැත්වූ මහ කොමසාරිස්වරිය, වාණිජ මණ්ඩලයට  වසරක් සපිරීම නිමිත්තෙන්  සහ එහි පළමු වසර තුළ ප්‍රවර්ධන කටයුතු කිහිපයක් සංවිධානය කිරීම පිළිබඳව සුභාශිංසන පළ කළා ය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට සකස් කොට ඇති මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ මණ්ඩලයට සිය අඛණ්ඩ සහය ලබා දෙන බවට එතුමිය සහතික විය. 2023 වසරේ මුල් භාගයේ සිට බලාත්මක වන, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන එක්සත් රාජධානියේ වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ප්‍රතිලාභ සහ ශ්‍රී ලංකා අපනයන කර්මාන්තය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ දී මහ කොමසාරිස් කාර්යාලය සතු කාර්යභාරය ද එතුමිය විසින් අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය එක්සත් රාජධානිය තුළ සැමරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාව පිළිබඳව සභාවේ සාමාජිකයන් දැනුම්වත් කළ මහ කොමසාරිස්වරිය, මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සාමාජිකයන් දිරිමත් කළා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2023 ජනවාරි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close