ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය 2023 ජනවාරි 20 වැනි දින අවසන් කෙරිණි. එතුමා මෙම සංචාරය අතරතුර, එනම් 2023 ජනවාරි 19 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, සබ්රි මැතිතුමාගේ සත්කාරකත්වයෙන් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතක, ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය පහසුකම් මෙන්ම එවැනි ආකාරයේ තවත් උපකාර ලබා දෙමින් පසුගිය වසර තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට පිරිනැමූ සුවිශේෂී ආධාර පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය සබ්රි මැතිතුමා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාවගේ කෘතඥතාව ඉන්දියාව වෙත පළ කළේ ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට නිල වශයෙන් සහය දෙන පළමු රට වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකයක් ලබා දෙමින් ඉන්දියාව සිදු කළ නිවේදනය ද අමාත්‍ය සබ්රි මැතිතුමාගේ පැසසුමට ලක්විය.

අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ ‘පළමුව අසල්වැසියන්’ යන ප්‍රතිපත්තියට අනුකූලව, අසීරු අවස්ථාවන්හි දී වුවද, ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ පවත්වන සහයෝගිතාව විදහා දැක්වීම තම ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ වූ බව ඉන්දීය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමට  සහ සංවර්ධනය කරා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර දීම ඉන්දියාවේ අභිප්‍රාය වේ.

විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනා සහ අදාළ දූත පිරිස අතර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා පැවැත්වූ  සාකච්ඡාව ද ඇතුළත් විය. මෙහිදී අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගනිමින් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලදී. සංචාරක ව්‍යාපාරය ඔස්සේ පැවැත්විය හැකි පුළුල් සබඳතා ඔස්සේ පුද්ගලාන්තර සබඳතා සහ ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු කළ හැකි බව දෙපාර්ශ්වය පිළිගත් හ. තිරසාර බලශක්ති සුරක්‍ෂිතතාව අනාගතයේ දී මුහුණ දීමට සිදු වන  අභියෝග අතර වඩාත් ප්‍රබල අභියෝගයක්  ලෙස හඳුනාගත්  දෙපාර්ශ්වය, පුනර්ජනනීය බලශක්තිය ආශ්‍රිත සහයෝගිතාව සඳහා විධිමත් රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට එළඹුණ හ.

ඉන්දියාව ලොව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන බව විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සඳහන් කළේ ය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා, අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ විශාලතම ප්‍රභවය සහ විශාලතම ආයෝජකයන්ගෙන් එකක් වන බැවින් ඉන්දියාවේ වර්ධනය තුළින් ශ්‍රී ලංකාවට අවස්ථා උදාවන බව ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

මෙම සංචාරය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැදගත් මුලපිරීම් රැසක් පිළිබඳ කටයුතු,  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපිට අවසන් කෙරිණි. සමාජ-ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රවල යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරනු ලබන ඉහළ බලපෑමක් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDP) සඳහා අවශ්‍ය වන ඉන්දියානු ආධාර පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබීම මීට ඇතුළත් විය. ශ්‍රී දළදා මාළිගාව පිළිබඳ ව්‍යාපෘතිය යටතේ පිහිටුවන ලද උඩරට නර්ථන ඇකඩමිය භාර දීම, ආදර්ශ නිවාස ගම්මාන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට නිවාස 24 ක් බැගින් ලබා දීම සහ ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 3 වැනි අදියර යටතේ මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිවාස 100 බැගින් නිවාස 300ක් ලබාදීම යන වැඩසටහන් ත්‍රිත්වයේ සමාරම්භක උත්සවවලට ද අමාත්‍ය ජයශංකර් මැතිතුමා සහභාගි විය.

ශක්තිමත් ප්‍රකෘතිමත්භාවයක් ලබාගැනීම සඳහා ඉන්දීය සහය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නුදුරේ දී ඉන්දියාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යොමු කළ ඇරයුම ද අමාත්‍ය ජයශංකර් මැතිතුමා විසින් භාර දෙන ලදී.

ඒකාබද්ධ ලේකම් (IOR) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකාව) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්ම මහත්මීහු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close