තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මැදපෙරදිග තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (METU) නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මැදපෙරදිග තාක්ෂණික විශ්වවිද්‍යාලයේ (METU) නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ජාතික උරුම පිළිබඳ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන පුරාවිද්‍යා ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්විය හැකි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මෑතක දී මැදපෙරදිග තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය.

එතුමිය ජනාවාස පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය ඩෙනිස් බර්කු අර්සියාස් මහතා සහ ඊට සම්බන්ධිත දෙපාර්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වූවා ය.

දෙරටේ ආර්ථිකයට සැලකිය යුතු ආදායමක් ගෙන දෙන, උරුම පිළිබඳ සංචාරක ව්‍යාපාරය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් මෙම සුවිශේෂී සංචාරය සහ සාකච්ඡාව පවත්වන ලදී.

 ශ්‍රී ලංකාව සතු යුනෙස්කෝ ලෝක උරුම අටෙන් (08) හයක් (06) පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික උරුම බව සඳහන් කළ, පුරාවිද්‍යාව පිළිබඳ මනා  ශාස්ත්‍රීය පසුබිමක් සහිත තානාපති දිසානායක මැතිනිය, ශ්‍රී ලාංකික පුරාවිද්‍යා උරුමය සහ එහි වැදගත්කම, මෙරට පුරාවිද්‍යා කැණීම් සහ අධ්‍යයනයන් හි පුරෝගාමීන්, මෙරට සිදු කෙරෙන පුරාවිද්‍යා අධ්‍යයන සහ පුරාවිද්‍යාව පිළිබඳ දැනුම සංචාරක කර්මාන්තයට ඉමහත් දායකත්වයක් සපයන ආකාරය පිළිබඳව පැහැදිලි කළා ය. තවද, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වැදගත්කම හේතුවෙන් යුනෙස්කෝව විසින් නම් කරන ලද ලෝක උරුම ස්ථාන 17 ක් තුර්කියේ පවතින බවද එතුමිය සඳහන් කළා ය.

පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යාවක් වන එතුමිය, තුර්කියේ විවිධ කාල පරිච්ඡේද කිහිපයකට අයත් පුරාවිද්‍යා උරුම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බවත්, සියවස් ගණනාවක් මුළුල්ලේ එවැනි උරුමයන් කෙරෙහි නැගෙනහිර හා බටහිර රටවලින් එල්ල වී ඇති බලපෑම කෙරෙහි අන් සියල්ලට වඩා උනන්දු වන බවත් සඳහන් කළා ය.

උරුමයන් පිළිබඳ ගැඹුරු දැනුමක් සහිත සංචාරක මාර්ගෝපදේශකයන් සංචාරක ව්‍යාපාරයට දක්වන දායකත්වය දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. පුරාවිද්‍යාව පිළිබඳ උපාධි සහිත තරුණ උපාධිධාරීන් අතර සංචාරක මාර්ගෝපදේශක වෘත්තිය සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමේ අවශ්‍යතාව වැදගත් වන බවද අවධාරණය කෙරිණි. සිසුන් වෙනුවෙන් ග්‍රීෂ්ම සෘතුවේ දී මාස කිහිපයක් තුළ සිදු කරන ශිෂ්‍ය හුවමාරු ක්ෂේත්‍ර කඳවුරු හරහා ඔවුන්ගේ අවබෝධය පුළුල් කළ හැකි අතර අනෙකුත් අය දිරිමත් කළ හැකි බවද මෙහිදී සඳහන් කෙරිණි.

පුරාවිද්‍යාව උගන්වන ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල වන අතර තුර්කියේ METU විශ්වවිද්‍යාලය ද රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන බැවින් විද්වතුන්ගේ සහ සිසුන්ගේ දිගුකාලීන හුවමාරු වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම පහසු කටයුත්තක් නොවේ. තවද, කැණීම් ස්ථානවලට ප්‍රායෝගික ලෙස නිරාවරණය කිරීම සහ දෙපාර්ශ්වය සතු පහසුකම්වලින් ආවරණය කළ හැකි වන පරිදි ඇතැම් විශ්වවිද්‍යාල තුළින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසන කෙටි කාලීන හුවමාරු පිළිබඳව නිරීක්ෂණය කිරීමට ද එකඟත්වය පළ කෙරිණි.

 තුර්කියේ නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල්වරුන් සහ තුර්කි ගුවන් සේවය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි බව යෝජනා කළ තානාපතිනිය, එවැනි මුලපිරීම් සඳහා අවැසි මූල්‍ය පහසුකම් සැලසීමේ නව්‍ය ක්‍රම සොයා ගැනීම සම්බන්ධයෙන්  ශුභවාදී  අදහස් පළ කළා ය. තුර්කි උපාධි අපේක්ෂකයන් අතර ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව පිළිබඳ අවම දැනුමක් පවතින බවට තුර්කි විද්වතුන් විසින් සඳහන් කර ඇති බැවින්, මෙරට සංචාරයේ නිරත වන විද්වතුන්ට පුරාවිද්‍යාව පිළිබඳව පමණක් නොව ශ්‍රී ලංකාව සහ එහි අනෙකුත් විෂයයන් පිළිබඳව ද සිය අදහස් පළ කිරීම සඳහා අවස්ථාවන් සූදානම් කරන ලෙසද එතුමිය වැඩිදුරටත් යෝජනා කළා ය.

අන්කාරා හි පිහිටි අනෙකුත් දකුණු ආසියානු තානාපති කාර්යාල එකඟ වන්නේ නම්, දකුණු ආසියානු දිනයක් සංවිධානය කිරීමට ද තානාපතිනිය විසින් යෝජනා කරන ලදී. තවද, ශ්‍රී ලංකාව, එහි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ පුරාවිද්‍යාව, ජෛව විවිධත්වය සහ පරිසරය, ආර්ථික කටයුතු  සහ දේශපාලන අංශ සහ ශ්‍රී ලාංකික ආහාර, චිත්‍රපට, සංගීතය සහ නර්තනය හරහා ශ්‍රී ලංකාව පිළිබඳව අවබෝධ කරගැනීමට අවස්ථාව සලසන ‘ශ්‍රී ලංකා දිනයක්’ සංවිධානය කිරීමට ද තානාපතිනිය සිය කැමැත්ත පළ කළා ය.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

 2023 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close