ශ්‍රී ලංකාව බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල්  (Spring Travel) සමාගමේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට පත් වේ

 ශ්‍රී ලංකාව බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල්  (Spring Travel) සමාගමේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට පත් වේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීන වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නවලට සමගාමීව, චීනයේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන  ඒමට අපේක්ෂා කරයි.

සංචාරක කර්මාන්තය හා සබැඳි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2022 නොවැම්බර් 16 වැනි දින බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල් සර්විස් සමාගමේ සාමාන්‍යාධිකාරී යැන්ග් යැන්ග් මහතා හමුවිය.

බලධාරීන් වෙත යොමු කෙරෙන විධිමත් ඉල්ලීමක් ද ඇතුළුව, චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාව වඩාත් යෝග්‍ය ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට හැකි සියලු ක්‍රමවේද තානාපති කාර්යාලය ගවේෂණය කරමින් සිටින බව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.

බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල් සර්විස් සමාගම බීජිං සහ ෂැංහයි හි හොඳම සංචාරක සමාගම් 10 අතරට අයත් වන බවත්, එය චීන රජය සහ චාරිකා සංචාරක ක්ෂේත්‍රය මගින් නොයෙක් වරක් සහතික ලබා ඇති බවත් එහි සාමාන්‍යාධිකාරී යැන්ග් මහතා සඳහන් කළේ ය. 2019 වසරේ ස්ප්‍රින්ග් ට්‍රැවල් සමාගමේ වාර්ෂික ව්‍යාපාරික පිරිවැටුම RMB බිලියන 24.5 ක් (ඇ.ඩො. බිලියන 3.5) විය. ස්ප්‍රින්ග් ගුවන් සමාගමේ වටිනාකම RMB බිලියන 50 කි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ චාරිකා සංචාරක වෙළඳාම තුළ හොඳින් ස්ථාපිත වී ඇති අතර එය වසංගතයට පෙර, දේශීය සංචාරක සමාගම් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකාව වෙත සමූහ සංචාර මාලාවක් ද සංවිධානය කොට ඇත. මෙම සමාගම ගුවන් යානා 110 කින් (A320) සමන්විත ස්ප්‍රින්ග් ගුවන් සමාගමේ හිමිකාරීත්වය ද දරයි. දැනටමත් චොන්චින්ග්, ෂැංහයි, ෂැන්ඩොන්ග් සහ සිචුවාන් යන ගුවන් සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති තානාපතිවරයා, චොන්චින්ග්, චෙන්ග්ඩු සහ කුන්මින්ග් සිට කොළඹ තෙක්  ගුවන් සම්බන්ධතා ඇරඹීම සඳහා ස්ප්‍රින්ග් ගුවන් සමාගම සතු හැකියාව පිළිබඳව ද යැන්ග් මහතා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

අපේක්ෂා තැබිය හැකි සංචාරකයන් සහ සංචාරක සමාගම් බොහෝ ප්‍රමාණයක් මේ වන විට  නව සංචාරක ගමනාන්ත ගවේෂණය කරමින් සිටින බැවින්, ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සඳහා  කාලය එළඹ ඇති බව සමාගමේ අදහස වූ බව යැන්ග් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. දේශසීමා විවෘත වූ වහාම, තම වැඩසටහන්වල ප්‍රමුඛතා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම සඳහා මෙම සමාගම සිය එකඟත්වය පළ කළේ ය. සීමා ලිහිල් කළ පසු ශ්‍රී ලංකාව චීන සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වනු ඇත.

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි චීන සංචාරකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳව දැනුම්වත් කිරීමට තානාපති කාර්යාලය සෑම උත්සාහයක්ම ගන්නා බවද තානාපති ආචාර්ය කොහොන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. දෙසැම්බර් මස මැද භාගයේ තානාපති කාර්යාලය තුළ සංවිධානය කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන ලෙසද, එතුමා යැන්ග් මහතා ඇතුළු ස්ප්‍රිං ට්‍රැවල් කණ්ඩායමට ඇරයුමක් යොමු කළේ ය. එම කණ්ඩායම ද තානාපතිවරයාගේ ඇරයුම පිළිගත් හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 නොවැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close