ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය සමීප සහයෝගීතාවය සඳහා පවත්නා ක්ෂේත්‍ර හඳුනා ගනී

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය සමීප සහයෝගීතාවය සඳහා පවත්නා ක්ෂේත්‍ර හඳුනා ගනී

පැරීසියේ ප්‍රංශ විදේශ අමාත්‍යංශයේ පැවති ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගිතාව පිළිබඳ අමාත්‍ය සංසදය අතරතුර දී  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් ජූටා අර්පිලේනන් මහත්මිය හමු විය.

මෙහිදී ඇඟලුම් නිෂ්පාදන, රස කළ තේ වර්ග, කුරුඳු සහ ගම්මිරිස් ඇතුළු කුළුබඩු, ධීවර නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ වැනි අගය එකතු කළ අපනයන මෙන්ම ආගන්තුක සත්කාර අංශය, තොරතුරු තාක්ෂණය, ආහාර සැකසීම, බලශක්තිය සහ ඖෂධ නිෂ්පාදනය වැනි ප්‍රමුඛතා අංශවල ආයෝජන ආශ්‍රිත හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවත්නා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම යන කරුණු, අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා යුරෝපා සංගමයේ කොමසාරිස් අර්පිලේනන් මහත්මිය සමඟ සාකච්ඡා කළේ ය.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සහයෝගීතාව, කලාපයේ පිහිටි තොටුපොළවල් සහ වරායන් අතර පවත්නා සම්බන්ධතාව, වෘත්තීය පුහුණුව, ඩිජිටල්කරණය සහ පුද්ගලාන්තර සබඳතා ආශ්‍රිත වෙනත් අංශ පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

යුරෝපා සංගමය ඉන්දියන් සාගරය සහ පැසිෆික් කලාපය ආශ්‍රිත රටවල් සමඟ සම්බන්ධ වීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරන බවත්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් හඳුනාගෙන ඇති ක්‍රියාකාරකම්වල පැහැදිලි සහසම්බන්ධතා දැකගත හැකි බවත්, යුරෝපා සංගමයේ කොමසාරිස් අර්පිලේනන් මහත්මිය පැවසුවා ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close