ව්‍යාපාර සහ ආයෝජන සහයෝගීතාවයේ දී IMPA සංගමය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී

ව්‍යාපාර සහ ආයෝජන සහයෝගීතාවයේ දී IMPA සංගමය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී

ජාත්‍යන්තර මුදලියාර් සහ පිල්ලෙයිමාර් සංගමය (IMPA) යනු දකුණු ඉන්දියාව පදනම් කරගත්, ලොව පුරා 25,000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සමන්විත ලාභ නොලබන, දේශපාලනික නොවන සංවිධානයකි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර හිමියන්ගෙන් සමන්විත වන IMPA සංගමය, දකුණු ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රජාවන්හි ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා විශාල වශයෙන් සම්බන්ධ වේ.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්  මැතිතුමා 2022 පෙබරවාරි 18 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී පැවති ‘ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර අවස්ථා’ පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා IMPA හි සභාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ව්‍යාපාර හිමියන් 60 දෙනෙකුට පමණ ආරාධනා කළේය.

ප්‍රධාන දේශනය පවත්වමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා හේතු පිළිබඳව අවධාරණය කළේය. දෙවැනි ලේකම් (වාණිජ) දිලංග හෙට්ටිආරච්චි මහතා සහ දෙවැනි ලේකම් (සංස්කෘතික හා දේශපාලන) සුපුන් දේශප්‍රේම මහතා ‘ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ මාර්ග’ සහ ‘ශ්‍රී ලංකාව - ඉදිරි මාවත’ පිළිබඳ ඉදිරිපත් කිරීම් ප්‍රදර්ශනය කළහ.

මෙම අංගයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් සහ අන්තර්ක්‍රියාකාරී වැඩ කරන දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලද අතර, එහි දී පුනර්ජනනීය බලශක්තිය, ඖෂධ නිෂ්පාදන, හස්ත කර්මාන්ත, රෙදිපිළි සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය වැනි අංශවල ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර කිහිපයක් ලැබී ඇත.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 පෙබරවාරි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close