ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65ක් සපිරීමේ සංවත්සරය කත්මණ්ඩු නුවර දී සැමරේ

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65ක් සපිරීමේ සංවත්සරය කත්මණ්ඩු නුවර දී සැමරේ

 ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් "Nepal-Sri Lanka Friendship: From Ancient Links to the Present" යන තේමාව යටතේ සංවිධානය කරන ලද සංවාදයක් 2022 දෙසැම්බර් 19 වන දින කත්මණ්ඩු නුවර දී පැවැත්විණි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාල ලෝක කටයුතු කවුන්සිලය (NCWA) සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේ ය. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය නාරායන් කඩ්කා මැතිතුමා  මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මාර්තු මාසයේ දී BIMST-EC අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරය පිළිබඳව සඳහන් කළ එතුමා, මෑත කාලීන ඉහළ මට්ටමේ දේශපාලන කටයුතු පිළිබඳව ද අදහස් දැක්වී ය. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සහභාගීත්වයෙන් වෙළෙඳ සබඳතා ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි  මැතිතුමා වීඩියෝ සබැඳියක් හරහා විශේෂ පණිවිඩයක් නිකුත් කළ අතර, ගෞතම බුදුන් වහන්සේගේ කාලය දක්වා දිව යන දෙරටේ පෞරාණික සබඳතා පිළිබඳව ද සඳහන් කළේ ය. එතුමා ලුම්බිණිය හැඳින්වූයේ ශ්‍රී ලංකාව සහ නේපාලය එකට බැඳ තබන පෙකණි වැල ලෙස ය. ශ්‍රී ලංකා - නේපාල මිත්‍රත්වයේ සුවිශේෂීත්වය වන්නේ විපතක දී එකිනෙකාට උපකාර කිරීම සම්බන්ධයෙන් දෙරට සතු නොසැලෙන කැමැත්ත බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

නේපාලයේ හිටපු විදේශ ලේකම් සහ 2005-2009 තෙක් ශ්‍රී ලංකාවේ නේපාල තානාපති වශයෙන් කටයුතු කළ දුර්ගා ප්‍රසාද් භට්ටරායි මහතා නේපාලයේ සිට ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, වාර්තාගත හා වාර්තාගත නොවූ පෞරාණික  සබඳතා පිළිබඳව සහ බුදුදහම සහ රාමායනය හරහා දෙරටේ  සබඳතා වැඩිදියුණු කිරීමට එය දායක වූ ආකාරය ඉස්මතු කළේ ය. විශේෂයෙන්ම ඒකාබද්ධ කොමිෂන් සභාවක් සහ ගුවන් සේවා ගිවිසුමක් ඔස්සේ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වික නෛතික උපකරණ මගින් ස්ථාපිත කොට ඇති නීතිමය පදනම පිළිබඳව ද එතුමා මෙහිදී සඳහන් කළේ ය. 2021 වසරේ දී ගුවන් සම්බන්ධතා නැවත ස්ථාපිත කිරීම වෙළඳ හා සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ඉවහල් වන වැදගත් මුලපිරීමක් ලෙස හඳුනාගැනේ.

BIMST-EC හි හිටපු මහලේකම් වශයෙන්  සහ 2009-2012 තෙක් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කළ සුමිත් නාකන්දල මහතා, වීඩියෝ සබැඳිය ඔස්සේ මෙරට සිට ප්‍රධාන දේශනය පැවැත්වී ය. වෙළෙඳාම සහ ආයෝජනය පිළිබඳ පිබිදීමක් ඇති කිරීමේ වැදගත්කම සහ සාමයේ මධ්‍යස්ථානයක් ලෙස ලුම්බිණිය සංවර්ධනය කිරීමට සහය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු භූමිකාව පිළිබඳව එතුමා අවධාරණය කළේ ය. ආර්ථික සබඳතා සඳහා ඵලදායී ලෙස සහය විය හැකි ප්‍රයෝජනවත් වේදිකාවක් වන BIMST-EC කෙරෙහි සිය විශේෂ අවධානය යොමු කළ එතුමා, කලාපීය සබඳතා ආශ්‍රිතව සහයෝගයෙන් ගවේෂණය කළ හැකි අවස්ථා පිළිබඳව අවධාරණය කළේ ය.

NCWA හි සභාපති හේමන්ත කරෙල් මහතා සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලී අරුණතිලක මැතිනිය ද උත්සව සභාව ඇමතූ හ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වූ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, හිටපු තානාපතිවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ නේපාල ප්‍රභූවරු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2022 දෙසැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close