ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික උපදේශනවල දී දේශපාලන හා ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික උපදේශනවල දී දේශපාලන හා ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ

ශ්‍රී ලංකාව පළමු වරට 2021 ඔක්තෝබර් 12 වැනි දින ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ විදේශ අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය. දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවල දී අවධානය යොමු විය.

අප්‍රිකානු කලාපය සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, උතුරු අප්‍රිකාවේ ප්‍රධාන ආර්ථිකයක් වන ඇල්ජීරියාව සමඟ වඩාත් සමීප සබඳතාවක් අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේ සමස්ත වෙළඳ පිරිවැටුම ඇ.ඩො. මිලියන 5.39 ක් වූ බව ද, ශ්‍රී ලංකාව ඇල්ජීරියාව වෙත සිදුකළ අපනයනවල වටිනාකම ඇ.ඩො.  මිලියන 0.63 ක් පමණක් වූ අතර, ඇල්ජීරියාවෙන් ශ්‍රී ලංකාව කළ ආනයනවල වටිනාකම ඇ.ඩො. මිලියන 4.76 ක් බව දෙපාර්ශ්වයම සඳහන් කළහ. ඛනිජ තෙල් සහ එල්පී ගෑස් අපනයනකරුවෙකු වශයෙන්, ඇල්ජීරියාව සමඟ වෙළඳ සබඳතා ප්‍රධාන වශයෙන් බලශක්ති අංශය තුළ පැවතුණි. කෙසේ වෙතත්, විශේෂයෙන් තේ, කුළුබඩු, පොල් නිෂ්පාදන සහ ඇඟලුම් අංශවල අපනයන තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ගවේෂණය කරන ලදී. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා දෙරටේ වාණිජ මණ්ඩල අතර අතථ්‍ය හමුවීමක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ගේ 50 වැනි සංවත්සරය ලබන වසරේ දී සුදුසු අයුරකින් සැමරීමට එකඟ වූහ. 2022 දී ඇල්ජියර් හි පැවැත්වෙන මීළඟ නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙන බව නිවේදනය කළ ඇල්ජීරියාව, මෙම රටවල් දෙකම නොබැඳි ජාතීන්ගේ ආරම්භක සාමාජිකයින් බවත් අඛණ්ඩව බහුපාර්ශ්වික මට්ටමින් සමීපව කටයුතු කරන බවත් සිහිපත් කළාය.

පරිසරය සහ දේශගුණික විපර්යාස, විදුලිබල හා බලශක්ති සහ සංචාරක අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා දෙරට දැඩි උනන්දුවක් පළ කළහ. ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීපන් මහතා විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙයවනු ලැබූ අතර, ඇල්ජීරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බෞමීඩියන් ගුවෙනාඩ් මහතා ඇල්ජීරියාවේ නියෝජිත පිරිසට නායකත්වය ලබා දුන්නේය. කයිරෝවේ සිට ඇල්ජීරියාව සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපතිවරයා හා නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ඇල්ජීරියානු තානාපතිවරයා සහ විදේශ අමාත්‍යාංශ දෙකෙහිම උසස් නිලධාරීන් මෙම අතථ්‍ය උපදේශන සඳහා සම්බන්ධ විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝබර් 14

Print Friendly, PDF & Email
Please follow and like us:

Close