ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ 6 වැනි අමාත්‍ය රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ 6 වැනි අමාත්‍ය රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ (CICA) විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හයවැනි රැස්වීමේ දී, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අතථ්‍ය ලෙස රටේ ප්‍රකාශය ඉදිරිපත් කරමින්, පොදු ප්‍රතිලාභය සඳහා වන සිය අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් කලාපීය ආයතනය සමඟ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත් වීම සහ සමීප සහයෝගිතාව පිළිබඳව යළි අවධාරණය කළේය. 6 වැනි CICA අමාත්‍ය රැස්වීම 2021 ඔක්තෝබර් 12 වන දින කසකස්තානයේ නූර්-සුල්තාන් හිදී දෙමුහුන් ආකෘතියකින් යුතුව පැවැත්විණි.

වසංගතය හේතුවෙන් ඇති වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී ප්‍රවේශයක අවශ්‍යතාවය පිළිබඳව විස්තර කරමින්, CICA කලාපයේ සංචාරක අංශය පුනර්ජීවනය කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම ද මහාචාර්ය කොළඹගේ මහතා අවධාරණය කළේය. ජාතික එන්නත් කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු හුවමාරු කරගත් ඔහු, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වීම පිළිබඳව ජාත්‍යන්තර හවුල්කරුවන්ට ස්තූති කළේය.

CICA යනු ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සහයෝගිතාව ඉහළ නැංවීම පිණිස පිහිටුවන ලද, සාමාජික රටවල් විසි හතකින් සමන්විත බහුජාතික සංසදයකි. 2018 දී ශ්‍රී ලංකාව CICA හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත් අතර මේ වන විට සංචාරක ව්‍යාපාරයේ විශ්වාසය තහවුරු කිරීමේ පියවර සඳහා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ:

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝබර් 13වැනි දින

.................................................

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) හි 6 වැනි අමාත්‍ය රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා 2021 ඔක්තෝබර් 12 අඟහරුවාදාශ්‍රී ලංකා වේලාවෙන් පැය 09:35 ට කළ ප්‍රකාශය

සභාපතිතුමනි, කීර්තිමත් විදේශ අමාත්‍යවරුන් සහ සම්භාවනීය අමුත්තනි,

මිතුරනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව සිය 29 වැනි සංවත්සරය සමරන මෙවන් අවස්ථාවක, ශ්‍රී ලංකාවේ සිට අද පැවැත්වෙන CICA අමාත්‍ය රැස්වීමට සහභාගී වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. අවාසනාවකට මෙන්, වෙනත් තැනක සිදුවන අත්‍යවශ්‍ය මැදිහත් වීමක් සඳහා එතුමාගේ එක්වීමේ අවශ්‍යතාවය නිසා අද පැවැත්වෙන රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාට හැකියාවක් නොමැත. මෙම උදාර රැස්වීමේ දී මම විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමාගේ උණුසුම් සුබ පැතුම් මැති ඇමතිවරුන් හා ගෞරවනීය සහභාගිවන්නන් වෙත පිරිනමමි.

අද රැස්වීම කැඳවීම සඳහා කාලෝචිත ලෙස පියවර ගැනීම සම්බන්ධයෙන් මුලසුන දරන කසකස්තාන් ජනරජය වෙත මම සුබ පතන අතර, ඔබේ ශක්තිමත් මඟ පෙන්වීම යටතේ පැවැත්වෙන මෙම රැස්වීමේ සාර්ථක ප්‍රතිඵල පිළිබඳව අපට විශ්වාසය තැබිය හැකිය.

CICA ලේකම් කාර්යාලය විසින් ඉටු කරන ලද ක්‍රියාකාරී හා දූරදර්ශී කාර්යභාරය ශ්‍රී ලංකාව අගය කරන අතර, එමඟින් CICA හි ක්‍රියාවලිය සඳහා තවදුරටත් ශක්තියක් සහ ගතිකතාවයක් ලබා දී ඇත.

සම්භාවනීය අමුත්තනි,

අද අපගේ හමුව පැවැත්වෙනුයේ මාරාන්තික වසංගතයක් හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ තත්වයක් මධ්‍යයේය. අපි අපේ ජනතාවගේ සෞඛ්‍ය, ආරක්‍ෂාව සහ ජීවනෝපායවල දැඩි බිඳවැටීම් සමඟ තවමත් පොරබදමින් සිටින්නෙමු. මෙම සන්දර්භය තුළ, අද රැස්වීම මඟින් අභියෝග සාමූහිකව හඳුනා ගැනීමට, ශක්‍ය විසඳුම් සෙවීමට සහ අපේ කලාපයේ සියල්ල ඇතුළත් හා සාධාරණ වර්‍ධනය ප්‍රවර්‍ධනය කිරීම පිණිස නිවැරදි උපාය මාර්ග අනුගමනය කිරීම සඳහා සුදුසු අවස්ථාවක් සලසා දෙයි.

කොවිඩ්-19 ප්‍රතිචාරය සම්බන්ධයෙන්, මේ වන විට ශ්‍රී ලංකා රජය ද, මෑත කාලීන ආසාදන ඉහළ යාම මධ්‍යයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයට ඇති බාධා අවම කරමින්, කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට සහ මහජන සෞඛ්‍ය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළට ප්‍රමුඛතාවය දී තිබේ.

මේ වන විට, දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 54% ක් පමණ වන මිලියන 11.9 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වයස අවුරුදු 30 ට වැඩි සියළුම දෙනාට පූර්ණ වශයෙන් එන්නත ලබා දී ඇත. මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මිත්‍රශීලී ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් විසින් විවිධ ආකාරයෙන් අපට ලබා දුන් සහයෝගය අපි සත්‍ය වශයෙන්ම අගය කරන්නෙමු.

CICA යනු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් සංවාදයක් සඳහා අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකාව සලකයි. පොදු ප්‍රතිලාභ සඳහා CICA සාමාජික රටවල් අතර හවුල්කාරිත්වය සහ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ලේකම් කාර්යාලය සහ සාමාජික රටවල් මඟින් දරන ලද මෑත කාලීන ප්‍රයත්න අපි සාදරයෙන් පිළිගනිමු.

එහි මධ්‍යස්ථ හා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මගින් වැඩි දියුණු කරන ලද, කලාපීය හා ගෝලීය සම්බන්ධකතාවය තුළින් තිරසාර සංවර්‍ධනය ළඟා කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජාතික සංවර්‍ධන ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ සඳහන් කොට ඇත.

අප දන්නා පරිදි, ගෝලීය ආර්ථිකයේ ගුරුත්ව කේන්ද්‍රය ක්‍රමයෙන් ආසියාව දෙසට  මාරු වී ඇත. පසුගිය දශක කිහිපය තුළ දී ආසියානු ආර්ථිකයන් සෙසු ලෝකයට වඩා වේගයෙන් විශාලත්වයෙන් ඉහළ යමින් පවතී.

මේ අනුව, වැඩි වැඩියෙන් ගෝලීයකරණය වූ සහ එකිනෙකා මත යැපෙන ලෝකයක් තුළ, CICA කලාපයේ සමුද්‍රීය, ඉඩම්, පුද්ගලාන්තර සහ වෙනත් ආකාරයේ සබඳතා සාර්‍ථකත්‍වය සඳහා අත්‍යවශ්‍ය වෙමින් පවතින බව පැහැදිලිය. මෙම සන්දර්භය තුළ, සාමූහික වශයෙන් අපේක්‍ෂිත තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී CICA හි සාමූහික නායකත්වය පිළිබඳව ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවෙයි.

සම්භාවනීය අමුත්තනි,

සංචාරක ව්‍යාපාරය තුළ විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සම්බන්ධීකාරක වශයෙන් අපගේ හැකියාවන් තුළින් සංචාරක ක්ෂේත්‍රය තුළ වසංගතය හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මම නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමි. ලෝකයේ ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව, CICA සාමාජික රටවල් සමඟ සංචාරක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පසුගිය අගෝස්තු මාසයේ දී ‘අතථ්‍ය ව්‍යාපාර අතර අන්තර්-ක්‍රියාකාරී සැසියක්’ සාර්ථකව පැවැත්වීය.

කලාපයේ සංචාරක කර්මාන්තය තුළ වැඩි වැඩියෙන් ඒකාබද්ධ කිරීම සහ සහයෝගීතාව අරමුණු කර ගනිමින්, අපි CICA හි වැඩ සැලැස්මට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් යෝජනා කර ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ දී මෙම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබේ උපරිම සහයෝගය ලබා ගැනීමට අපි අපේක්ෂා කරමු.

නෝනාවරුනි මහත්වරුනි,

අද රැස්වීම CICA පවුල තුළ වසර ගණනාවක අන්තර් සබඳතාවල දී අප ලැබූ අත්දැකීම් සාරාංශ කිරීමට පමණක් නොව, අපගේ හවුල් ප්‍රයත්න නැවත වඩාත් හොඳින් ගොඩනැඟීම සඳහා යළි දිශානත කිරීමට ද දායක වන බව මට නිසැකය.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close