ශ්‍රී ලංකාව සහ මාලදිවයින නැව් සහ බෝට්ටු තැනීම පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින නැව් සහ බෝට්ටු තැනීම පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නැව් සහ බෝට්ටු තැනීමේ කර්මාන්තයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මාලදිවයින් ජාතික බෝට්ටු පැදීමේ සංගමය (NBAM)  සහ ශ්‍රී ලංකා බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්ත නියෝජිතයන් අතර අතථ්‍ය හමුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය සහිතව විදේශ අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් 2021 ඔක්තෝබර් මස 11 වැනි දින පැවැත්විණි.

පිළිගැනීමේ කතාව කළ විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම හමුව දැනුම සහ සම්පත් හුවමාරු කර ගැනීම සඳහා දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ සුවිශේෂී අවස්ථාවක් වන බවත්  එතුළින් එක්ව ලෝකය ජය ගැනීම සඳහා වැඩි අවස්ථා සඳහා මඟ සැලසෙන බවත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම පිළිබඳව  අවධාරණය කරමින් නැව් සහ බෝට්ටු තැනීමේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූලෝපායික අංශයක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති බව අම්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පළමු සම්බන්ධතාවය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අතර දෙරටේ ආර්ථිකය තවදුරටත් ඉහළ නැංවීම සහ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත්  දෙරට අතර ගිවිසුමක් සඳහා ඉක්මනින්ම එළඹිය හැකි නම් එය මෙම අංශවලට වඩාත් යහපත් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මහත්මිය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වඩාත් තිරසාර හවුල්කාරිත්වයක් සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙම ඇරඹුම වැදගත් ඉදිරි පියවරක් වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ අවධානය ඔක්තෝබර් 25 වැනි දින සිට 29 වැනි දින තෙක් අතථ්‍ය අයුරින් පැවැත්වෙන 2021 බෝට්ටු ප්‍රදර්ශනය (Boat Show 2021)  කෙරෙහි යොමු වී ඇති බවත් නාවික සංචාරක ව්‍යාපාරයට පිවිසීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති අතර ගෝලීය වශයෙන් හවුල්කරුවන් හමුවීමට මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉතා වැදගත් වන බවත් අවධාරණය කළාය.  තවද මාලදිවයිනේ බෝට්ටු කර්මාන්තකරුවන් ඇමතූ ඇය පුළුල් අන්තර් ක්‍රියාකාරකම් ගොඩනගා ගැනීම  සඳහා බෝට්ටු ප්‍රදර්ශනයට ලියාපදිංචි වී ඊට සහභාගී වන ලෙස ඇරයුම් කළාය.

මාලදිවයිනේ ජාතික බෝට්ටු පැදීමේ සංගමයේ (NBAM) සභාපති අහමඩ් අෆ්රා මහතා, ලිව්අබෝර්ඩ් යාත්‍රා හා මාලදිවයිනේ සංචාරක අංශය සම්බන්ධ කර ගනිමින් බෝට්ටු තැනීමේ කර්මාන්තය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු  කළ අතර ආර්ථික හා සාමාජීය දියුණුව තහවුරු කරමින් මාලදිවයිනේ බෝට්ටු කර්මාන්තය දියුණු කිරීම සඳහා එම සංගමය ප්‍රධාන අවධානය යොමු කරන බව පැවසීය. පරිසරය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සඟරා ප්‍රකාශයට පත් කිරීමට අමතරව මෙම සංගමය විසින් දියත් කළ වැදගත් ක්‍රියාකාරකම් ලෙස සමුද්‍ර ප්‍රදර්ශන, මාලදිවයිනේ ඔරු පැදීමේ සම්මාන උළෙල සහ ‘ආරක්ෂිතව පාවෙමින් සිටින්න’ ‘Stay Safe Afloat’ වැඩසටහන අෆ්රා මහතා ගෙනහැර දැක්වීය. ලිව්අබෝර්ඩ් යාත්‍රා සහ මාලදිවයිනේ සංචාරකයින් සඳහා සපයන ලද පහසුකම් පිළිබඳ විස්තර මෙම ඉදිරිපත් කිරීමට ඇතුළත් වූ අතර මෙම අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් සමඟ එක්වන ලෙස අවධාරණය කළ ඔහු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය හුවමාරු කරගැනීම සඳහා සහයෝගය දැක්වීමක් පිණිස ගිවිසුමකට එළඹීමට නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා බෝට්ටු තැනීමේ තාක්ෂණ ආයතනයේ (BBTI) ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ බෝට්ටු තැනීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී හේරත් මහතා සඳහන් කළේය. තවද ඇතැම් නිෂ්පාදනවලට බෝට්ටු උපාංග, ජීවිතාරක්ෂක ඇඳුම්, සුපිරි සුඛෝපභෝගී යාත්‍රා සහ රුවල් යාත්‍රා අළුත්වැඩියාව ඇතුළුව බෝට්ටු සහ නැව් අළුත්වැඩියා කිරීම අයත් වන අතර, ඔවුන්ගේ සේවා අප්‍රිකාව, යුරෝපය සහ ඇතැම් මැද පෙරදිග රටවල මෙන්ම ඉන්දුනීසියාව සහ මාලදිවයින දක්වා ද ව්‍යාප්ත වී තිබේ.

මෙම සාකච්ඡාව අතරතුර දී මාලදිවයින් පාර්ශ්වය මාලදිවයින තුළ 10,000 - 20,000 අතර වෙළඳ සංචරණ ප්‍රමාණයක් සිදු වන බව පෙන්වා දුන් අතර මාලදිවයින් වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් සූදානමක් නොමැති වීම පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය. වඩා යහපත් ආයෝජන සහ ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා කර්මාන්තයේ හවුල් ව්‍යාපාර ඇති කිරීමට ද යෝජනා කෙරිණි. අනෙකුත් බාධක අතර ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසා බදු බර හේතුවෙන් මෙම අංශය වෙත එළඹීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහන් කළ අතර, සමීප සහයෝගීතාවය ඇති කර ගැනීම සහ සබඳතා නව මානයකට ගෙන යාම සඳහා කර්මාන්තය පිළිබඳ ගිවිසුමක් කෙටුම්පත් කිරීමට කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

මාලේ හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම හමුව සංවිධානය කෙරිණි. විදේශ අමාත්‍යාංශයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ තටාක අංගනයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තයේ විධායකයින් සහ මාලදිවයින් ජාතික බෝට්ටු සංගමයේ (NBAM) විධායක නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2021 ඔක්තෝබර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close