ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ප්‍රංශ ආයෝජකයන්ට ආරාධනා කිරීමට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා MEDEF ඉන්ටනැෂනල් ‍ෆ්‍රාන්ස් (MEDEF International France) ආයතනය හමුවෙයි

 ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා ප්‍රංශ ආයෝජකයන්ට ආරාධනා කිරීමට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා MEDEF ඉන්ටනැෂනල් ‍ෆ්‍රාන්ස් (MEDEF International France) ආයතනය හමුවෙයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2021 ඔක්තෝබර් 04-08 යන දිනවල ප්‍රංශයේ නිල සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සව කිහිපයකට සහභාගී විය.

අමාත්‍යවරයා 2021 ඔක්තෝබර් 08 වැනි දින ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා ද සමඟ ප්‍රංශයේ ව්‍යවසායකත්ව ව්‍යාපාරයේ (MEDEF International) උප සභාපති ෆ්‍රන්සුවා කෝබින් මහතා, ප්‍රංශ - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ  සභාපති සහ MEDEF ඉන්ටනැෂනල් හි දකුණු ආසියා ව්‍යාපෘති කළමනාකාර ඇනායිස් වසැලෝ මහත්මිය හමු විය.

තවද, මෙම හමුව සඳහා යුනෙස්කෝ හි ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සහභාගී වූ අතර එහිදී ඔවුහු  ඵලදායී සාකච්ඡාවක  නිරත වූහ.

1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ඇරඹුණු යුගය පිළිබඳව හැඳින්වීමක් සිදු කළ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, යටත්විජිතකරණයේ ප්‍රතිඵල වශයෙන් සිංගප්පූරුවට සහ ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම සංසන්දනය කළ අතර, යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිවූ ඉහළ වර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යභාරය පිළිබඳව අවධාරණය කළේ ය.

තවද, වඩාත් යෝග්‍ය මෙන්ම පහසුකම් සපිරි වරායවලින් සුසැදි, ආසියාව හා යුරෝපය අතර කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාවේ පිහිටීම තුළින් සිදු කෙරෙන කාර්යභාරය, ප්‍රංශය තුළ මෙහෙයුම් කටයුතු සම්පාදනය කිරීම සඳහා වාසිදායක වන ප්‍රධාන වාසියක්  ලෙස මෙහි දී  අවධාරණය කෙරිණි.

වඩාත් වැදගත්ම කරුණ වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් දරන කලාපයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාව, ප්‍රචණ්ඩකාරී ලෙස බලය අත්පත් කර ගැනීමකින් තොරව දීර්ඝ කාලීන දේශපාලන ස්ථාවරත්වයක් භුක්ති විඳීමේ ප්‍රතිලාභ ලැබූ රාජ්‍යයක් වීම යි. ශ්‍රී ලංකාව නොබැඳි/ මධ්‍යස්ථ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, අනුප්‍රාප්තික රජයන් විසින් 2000 දශකයේ මුල් භාගයේ සිට වරාය නගර ව්‍යාපෘතිය වැනි ස්ථාවර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදී.

සංජය මොහොට්ටාල මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වත්කම් සහ ආර්ථික අංශ හඳුන්වා දීමට පෙර පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ ඉහළ සහ වේගවත් ආර්ථික වර්ධන අනුපාත හඳුන්වා දුන්නේ ය. හම්බන්තොට ඇතුළු විශාල වරායන් 2 කින් සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 3 කින් ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රතිලාභ ලබයි. එමෙන්ම, දකුණු ආසියාව සහ නැගෙනහිර අප්‍රිකාව තුළ සිටින බිලියන 2.1 ක පාරිභෝගික පිරිසකින් සමන්විත සුපිරි වෙළඳපොළ ප්‍රවේශයකින් ද ශ්‍රී ලංකාව ප්‍රතිලාභ ලබයි.

මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව ඇගයූ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය, ව්‍යාපාරික අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සමාගම් දැඩි ලෙස දිරිමත් කළා ය.

ජීවත් වීම සඳහා කලාපය තුළ පවතින වඩාත් සුදුසුම රට ශ්‍රී ලංකාව වන බැවින් සහ  ශ්‍රී ලංකාව සතු විශිෂ්ට කුසලතා සහිත ශ්‍රම බලකාය හේතුවෙන් තරගකාරීත්වය අතින් ශ්‍රී ලංකාව කලාපය තුළ දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත. දකුණු ආසියාව තුළ ජීවත් වීමට වඩාත් යෝග්‍ය නගරයක් මෙන්ම කර්මාන්ත කේන්ද්‍රස්ථානයක් වන කොළඹ නගරය තුළ සිදු කෙරෙන වේගවත් ආර්ථික වර්ධනය පිළිබඳව ද මෙහි දී අවධාරණය කෙරිණි. නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය, ඇඟළුම් (කම්කරු ප්‍රමිතීන්, සාධාරණ වැටුප් සහ සෞඛ්‍ය සේවා සහිත), ඉලෙක්ට්‍රොනික මෙවලම්, තොරතුරු තාක්ෂණය (2021 වර්ෂය වන විට ඩොලර් බිලියන 3 ක අපනයන නිපදවා ඇත), නැගී එන තාක්ෂණ සේවා යන ආර්ථික අංශ ඔස්සේ  සහ  අධ්‍යාපනය, ආගන්තුක සත්කාර සහ සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් සේවා යනාදී අංශ ඔස්සේ ක්‍රියාත්මක වේ.

MEDEF ඉන්ටනැෂනල් හි උප සභාපති ෆ්‍රන්සුවා කෝබින් මහතා, ප්‍රංශ සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය දැනුම හුවමාරු කර ගැනීම සඳහා පැවැත්වූ මෙම හමුව අගය කළේය. MEDEF නියෝජිත පිරිස ශ්‍රී ලංකාව අනුගමනය කරන හරිත දිශානතිය සහ ඉදිරි ගමන උදෙසා කැමැත්තෙන්ම යෝජනා කරන ලද අංශ ගණනාව පිළිබඳව බෙහෙවින් පැහැදුණහ.

යුනෙස්කෝ හි ශ්‍රී ලංකා තානාපතිනි සහ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය, දෙවැනි ලේකම් දුලාංජි හේරත් මහත්මිය, තෙවැනි ලේකම් අමිල දිසානායක මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිකොලස් ක්‍රෙටින් මහතා යනාදීහු මෙම හමුවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ඔක්තෝම්බර් මස 25වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close