සංවර්ධන ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරය සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රංශ සෘජු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ

 සංවර්ධන ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරය සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රංශ සෘජු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව විසින් සාදරයෙන් පිළිගනු ලැබේ

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා 2021 ඔක්තෝබර් 5-11 යන දිනවල ප්‍රංශයේ පැරිස් හිදී ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට සහභාගී වූහ.

ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සමාගම්, මුල්‍ය ආයතන සහ රාජ්‍ය නියෝජිතායතන සමඟ පැවැත්වූ මෙම ද්විපාර්ශ්වික හමු පැරීසියේ දී සංවිධානය කෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු නියෝජිත පිරිසට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද එක් විය.

ශ්‍රී ලංකාව තුළ සුඛෝපභෝගී විනෝදාස්වාද කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ගවේෂණය කිරීමට මෙම සංචාරය අතරතුර දී රාජ්‍ය අමාත්‍යවරයා සහ සභාපතිවරයා, පිළිවෙළින් 2021 ඔක්තෝබර් 05 සහ 07 යන දිනවල ප්‍රංශයේ ප්‍රමුඛතම සංචාරක ක්‍රියාකරුවන් වන ඇකෝර් හොටෙල්ස් සමාගම සහ ක්ලබ් මෙඩ් සමාගම හමුවූහ.

ප්‍රංශ බහුජාතික ආගන්තුක සත්කාරක සමාගමක් වන ඇකෝර් එස්.ඒ (Accor S.A.) සමාගම සතුව හෝටල්, නිවාඩු නිකේතන ආදී දේපල පවතින අතර එමඟින් එම දේපළ කළමනාකරණය කිරීම සහ අයිතිය පැවරීම යන කටයුතු ද සිදු කෙරේ.  යුරෝපයේ විශාලතම සත්කාරක සමාගම වන මෙම සමාගම ලොව හයවැනි විශාලතම සත්කාරක සමාගම ද වේ. ක්ලබ් මෙඩ් යනු පැරීසිය සිය මූලස්ථානය කරගත් ප්‍රංශ සංචාරක සහ සංචාරක ව්‍යාපාර ක්‍රියාකරුවකු වන අතර එය සියලු දීමනා ඇතුළත් නිවාඩු නිකේතනයක් ද වේ. සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව සිය දොරටු සහ සීමා නැවත විවෘත කිරීමත් සමඟම, තම මීළඟ ආයෝජන ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට උනන්දුවෙන් පසුවන ශක්‍යතා සහිත ගෝලීය ආයෝජකයන් හේතුවෙන් අනාගතයේ දී දිවයින පුරා වසරකට ආසන්න වශයෙන් තවත් කාමර 30,000 ක පමණ ඉල්ලුමක් අවම වශයෙන් හටගනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් ෆ්‍රාන්ස් සමාගම විසින් කොළඹ සිට පැරිස් දක්වා සතියකට වරක් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් වාර තුන හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පවතින ශක්‍යතා තවදුරටත් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ඔක්තෝම්බර් 25වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close