ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම සඟරාවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ කලාපය එළිදැක්වේ

ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන පිළිබඳ වියට්නාම සඟරාවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ කලාපය එළිදැක්වේ

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දීය සහ නිරිතදිග ආසියානු අධ්‍යයන සඳහා වූ වියට්නාම ආයතනය (VIISAS) සහ වියට්නාම සමාජ විද්‍යා ඇකඩමිය (VASS) සමඟ එක්ව, ඉන්දීය සහ දකුණු ආසියානු අධ්‍යයන සඳහා වන වියට්නාම සඟරාවේ (VIJAS) විශේෂ කලාපයක් 2021 සැප්තැම්බර් මස සඳහා 2021 ඔක්තෝබර් 22 වැනි දින නිල වශයෙන් එළිදැක්වීය.

දෙරටෙහි වෙසෙන විශිෂ්ට විද්වතුන්ගේ දායකත්වය ද සමඟ ද්විපාර්ශ්වික සබඳතා, කලාපීය සහ ජාත්‍යන්තර ගතිකත්වය යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම විශේෂ කලාපය තුළින් ආර්ථික විද්‍යාව, ඉතිහාසය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ආයෝජනය, කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍ර ආවරණය කරනු ලැබේ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, වියට්නාම සමාජ විද්‍යා ඇකඩමියේ (VAAS) උප සභාපති මහාචාර්ය ඩං නුයෙන් අයින් මහතා, ඉන්දීය සහ නිරිතදිග ආසියානු අධ්‍යයන සඳහා වන වියට්නාම ආයතනයේ (VIISAS) ස්ථාවර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෆම් කාඕ කුඔන්ග් මහතා, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මැතිතුමා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය, දායකත්වය සැපයූ  ශ්‍රී ලංකාවේ සියලුම අය, වියට්නාම සමාජ විද්‍යා ඇකඩමියේ (VASS) විද්වතුන් සහ පර්යේෂකයන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම එළිදැක්වීමේ උත්සවය අතථ්‍ය ආකාරයෙන් කොළඹ දී සහ හැනෝයි හිදී පැවැත්විණි. මෙම විශේෂ කලාපය වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 51 වැනි සංවත්සරය සහ වියට්නාම සමාජ විද්‍යා ඇකඩමියේ (VASS) 10 වැනි සංවත්සරය සමඟ ද සමපාත වේ.

බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සම්මානිත මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මහතා, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සහ පූංගෝතායි රත්නවඩිවේල් මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් අයි.එච්. කුක් මහතා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නිමේෂා දිසානායක මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, කලාපය, අනන්‍යතාවය සහ මතවාදය යළි නිර්වචනය කිරීම: ඓතිහාසික මධ්‍යම දකුණු ආසියාව පිළිබඳ ඉදිරි දැක්ම, කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු ලොව: ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඩුබායි රාජ්‍යය බවට පත් කළ හැක්කේ කෙසේ ද?, වියට්නාමයේ සහ ශ්‍රී ලංකාවේ සමාජීය ආර්ථික සංවර්ධන ගමන්මග පිළිබඳ සංසන්දනාත්මක සමාලෝචනය, ආසියානු මිත්‍ර රටවල්: ආසියානු සියවස සාක්ෂාත් කර ගැනීම සඳහා බැන්ඩුං කෙරෙහි නැවත අවධානය යොමු කිරීම (නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 60 වැනි සංවත්සරය), ශ්‍රී ලංකාව තුළ පවත්නා එළවළු වගා කිරීමේ පද්ධතිවල ලාභදායිත්වය සහ තරඟකාරීත්වය ඇගයීම, සංස්කෘතික විවිධත්වයෙන් යුත් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යන තේමා යටතේ මෙම හමුව සඳහා සිය දායකත්වය ලබා දුන්හ.  වියට්නාම පාර්ශ්වය නියෝජනය කළ ට්‍රාන් ගොක් ඩියෙම් මැතිනිය (ශාස්ත්‍රපති), නයුන් ඩුක් ට්‍රන්ග් මහතා (ශාස්ත්‍රපති) සහ ෆම් තුයි නුයෙන් මහත්මිය (ශාස්ත්‍රපති) පිළිවෙළින්, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා-වියට්නාම සබඳතාවල අනාගතය, කොවිඩ්-19 වසංගතය තුළින් අපනයන ක්‍රියාකාරකම් සඳහා එල්ල වූ බලපෑම: ශ්‍රී ලංකාව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් සහ ශ්‍රී ලංකාව තුළ ස්ථිර සෘජු ආයෝජන ආරම්භ කිරීම සඳහා ඉන්දියාව සහ චීනය අතර ඇති තරගය පිළිබඳව අදහස් දැක්වූහ.

දෙරටේ විද්වතුන්ගේ දායකත්වය සමඟ පුළුල් දෘෂ්ටිකෝණයන් විදහා දක්වමින්, ශ්‍රී ලංකා - වියට්නාම සබඳතා පිළිබඳ වියට්නාම භාෂාවෙන් ශාස්ත්‍රීය සඟරාවක් ප්‍රකාශයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මහාචාර්ය  (ආචාර්ය) ඩං නුයෙන් අයින් මහතා සිය ආරම්භක දේශනයේ දී, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන, උණුසුම් සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා අගය කළ අතර, පසුගිය වසර දෙක තුළ දී වියට්නාම සමාජ විද්‍යා ඇකඩමිය (VASS) සහ ශ්‍රී ලංකාව අතර වැඩි දියුණු වූ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේ ය.

විදේශ ලේකම් කොළඹගේ මහතා ද ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා බහුවිධ සබඳතා මෙන්ම දෙරටේ විසූ නායක පරම්පරාවන් ගණනාවක් විසින් පෝෂණය කරන ලද ගැඹුරින් මුල් බැසගත් බැඳීම්වල කැපී පෙනෙන අංග අවධාරණය කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කේන්ද්‍ර වී ඇති ප්‍රධාන මූලිකාංග තුන වන ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ විදේශ සබඳතා පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය. දෙරටේම දායකයන් සහ වියට්නාම සමාජ විද්‍යා ඇකඩමියේ (VASS) විද්වතුන් සහ පර්යේෂකයන් ආචාර්ය කුඔං විසින් මෙහෙයවන ලද සජීවී අන්තර්ක්‍රියාකාරී සැසියට සහභාගී වූ අතර, එහිදී ඔවුන් විසින්ම දායකත්වය දක්වනු ලැබූ සිය තේමාත්මක ක්ෂේත්‍ර පිළිබඳ ඉදිරි දැක්ම සහ අදහස් බෙදාහදා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව තානාපති ගමගේ මැතිතුමා සිය ප්‍රකාශයේ දී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනෝයි

2021 ඔක්තෝබර් 26වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close