ශ්‍රී ලංකාව කසකස්ථාන් ජනරජය සමඟ පවතින සබඳතා වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකාව කසකස්ථාන් ජනරජය සමඟ පවතින සබඳතා වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර වෙළඳ, ක්‍රීඩා සහ සංචාරක යන අංශයන්හි සහයෝගීතාව වැඩි දියුණු කීරිම සම්බන්ධයෙන් එම රාජ්‍ය සමඟ රැසියාවේ  ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු නිළධාරින් සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිස කසකස්ථානයේ සංචාරයක නිරත වෙමින් එරට  විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය සන්ධාන සහ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යංශය ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව (CICA), ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ඇතුළු කසකස්ථාන් ජනරජයේ ආයතන කිහිපයක් සමඟ මෙලෙස සාකච්ඡා පවත්වා තිබේ.  දේශපාලන උපදේශන, නිර්වේතනික කොන්සල්වරයෙකු පත්කිරීම, 2021 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සහ 2022 සීඅයිසීඒ සමුළුව 2 වන කොටස පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් වෙළඳ, ක්‍රීඩා සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවයේ පවත්නා ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන් තීව්‍ර කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක්  යොමු කර ඇත.

තානාපති ලමාවංශ මැතිතුමා කසකස්ථාන් ජනරජයේ නියෝජ්‍ය සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය කොසගපානොව් මැතිතුමා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම රැස්වීම සඳහා සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානීන් ද සහභාගී විය.

ආයෝජන අවස්ථා සහ වෙළඳ හා සංචාරක කටයුතුවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ප්‍රමුඛතා අංශ සාකච්ඡා කිරීම සඳහා තානාපති කාර්යාල නියෝජිත පිරිස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේදී ද පිළිගනු ලැබීය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) ලේකම් කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ තානාපති කයිරත් සරිබේ මැතිතුමාගේ ආරාධනය පරිදි, මහාචාර්ය ලමාවංශ මැතිතුමා සහ මොහොමඩ් අනස් මහතා අවිධිමත් තානාපති සමාජයේ රැස්වීමට සහභාගී විය. කසකස්ථානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂක්‍රත් නුරිෂෙව් මැතිතුමා, කසකස්ථානයේ පාර්ලිමේන්තුවේ මසිලිස් මන්ත්‍රී අමර්කාන් රකිම්ෂනොව් මැතිතුමා සහ සීඅයිසීඒ සාමාජික රටවල තානාපතිවරු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ජූනි මස 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close