ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය (SIBA) සහ වියට්නාම් බෞද්ධ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය (SIBA) සහ වියට්නාම් බෞද්ධ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ආගමික අධ්‍යාපනය හා සංස්කෘතිය පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම, විද්වතුන් හා සිසුන් හුවමාරු කර ගැනීම, වාර්ෂික බෞද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම සහ වියට්නාමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකාවේ නිකාය සතරේ භික්ෂූන් වහන්සේලා අතර සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් යුතුව, මහනුවර පල්ලකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය (SIBA), සහ වියට්නාමයේ හෝ චි මිං නගරයේ වියට්නාම් බෞද්ධ විශ්ව විද්‍යාලය (VBU) 2021 ජුනි 19 වැනි දින අවබෝධතා ගිවිසුමකට එළඹුණි. මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අංගය වන්නේ ආයතන දෙක අතර වාර්ෂික බෞද්ධ සමුළුවක් පැවැත්වීම වන අතර, එය මාරුවෙන් මාරුවට වියට්නාමයේ දී සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත.

වියට්නාම් බෞද්ධ සංගමයේ පළමු නියෝජ්‍ය කුලදෙටු සහ හෝ චි මිං නගරයේ වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධානී, අති පූජ්‍ය තිච් ට්‍රයි ක්වාන්ග් ස්වාමීන් වහන්සේ මෙම අතථ්‍ය අත්සන් තැබීමේ උත්සවයේ සිය ආරම්භක අදහස් දැක්වීමේ දී, මෙම විශ්වවිද්‍යාල දෙක විසින් සිදුකළ මුලාරම්භය සාදරයෙන් පිළිගත් අතර, අවබෝධතා ගිවිසුම තුළින් විශ්වවිද්‍යාල දෙකටම ධනාත්මක ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇතැයි උන්වහන්සේගේ දැඩි විශ්වාසය පළ කළහ . පවත්නා සුහද හවුල්කාරිත්වය, හොඳ හිත, පැහැදිලි අරමුණු සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති දැඩි කැපවීම බුද්ධාගම හා සංස්කෘතිය තවදුරටත් පෝෂණය කිරීම සඳහා දෙරටට ඉවහල් වන බව අති පූජ්‍ය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම තුළින් විශ්වවිද්‍යාල අතර මිත්‍ර සබඳතා ශක්තිමත් වනවා පමණක් නොව, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සහයෝගීතාව විවිධ අංශවලින් ප්‍රවර්ධනය කරනු ලබන බවට උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සිය ආරම්භක දේශනයේ දී අවබෝධතා ගිවිසුම සහ එහි දක්වා ඇති ක්‍රියාකාරකම් දෙරට අතර පුළුල් සහයෝගීතාවයේ වැදගත් පළමු පියවර වනු ඇති බව පැවසීය. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය සතු සම්පත් හා පළපුරුද්ද සමඟ ඉදිරි කාර්යයන් ඉටු කිරීමට හැකි වනු ඇතැයි ඔහු අවධාරණය කළේය. ආචාර්ය සේදර මහතා 2018 සහ 2019 දී වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත කළ පෙර සංචාරයන් සහ 2019 දී වියට්නාමයේ පැවති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනයට සහභාගී වීම පිළිබඳව ද සිහිපත් කළේය.

වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්ථාවර උප ප්‍රධානී අතිපූජ්‍ය ආචාර්ය තිච් නාට් ටූ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා නිරත වූ සංචාරය සිහිපත් කළහ. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය විසින් ලබා ඇති විශිෂ්ට අධ්‍යයන විශිෂ්ටත්වය ආචාර්ය ටූ ස්වාමීන් වහන්සේ අගය කළහ. වසර ගණනාවක් තිස්සේ වියට්නාම් බෞද්ධ භික්ෂූන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය ලබාදුන් දායකත්වය උන්වහන්සේ අගය කළහ. මේ වන විට වියට්නාම භික්ෂූන් 15 නමක් එහි උපාධි පාඨමාලා හදාරමින් සිටිති.කොවිඩ්-19 වසංගතය තුරන් කළ පසුව මෙම අවබෝධතා ගිවිසුම යටතේ වැඩ සටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ආයතන දෙකට හැකි වනු ඇතැයි ආචාර්ය ටූ ස්වාමීන් වහන්සේ සිය දැඩි විශ්වාසය පළ කළහ.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මැතිණිය ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ කැපවීම යළිත් තහවුරු කළ අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඓතිහාසික බෞද්ධ ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවය පිළිගත්හ. අනාගතයේ දී මෙම අවබෝධතා ගිවිසුම මඟින් අපේක්‍ෂා කරන ලද ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා තානාපතිවරු දෙදෙනාම ඔවුන්ගේ නොවෙනස් සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්හ.

මෙම අතථ්‍ය අත්සන් තැබීමේ උත්සවය මෙහෙයවූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයේ සහකාර මහාචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා සමාප්ති දේශනය පැවැත්වීය. මෙම පියවර ඔහු අගය කළ අතර, එම ක්‍රියාවලියට සම්බන්ධ වෘත්තිකයන් වෙත මෙන්ම, ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන භාරකරු සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයේ සභාපති ආචාර්ය නිලංග දෑල දියවඩන නිලමේතුමාගේ මඟ පෙන්වීම සහ ආශීර්වාදය වෙනුවෙන් ඔහු ස්තූතිය පුද කළේය. වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උප ප්‍රධානී අතිපූජ්‍ය තිච් ටම් ඩක් ස්වාමීන් වහන්සේ ශුභාශිංසන පිරිනැමූහ.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රධානී පූජ්‍ය (ආචාර්ය) පී. කුසලධම්ම ස්වාමීන් වහන්සේ, බෞද්ධ අධ්‍යයන පිළිබඳ කථිකාචාර්ය පූජ්‍ය වී. පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ, තත්ත්ව පාලන ප්‍රධානී සහකාර මහාචාර්ය හසන්ති දහනායක මහත්මිය සහ පරිපාලන අංශ ප්‍රධානී ජගත් කුලතුංග මහතා ද මෙම අත්සන් තැබීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

හෝ චි මිං නගරයේ වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප ප්‍රධානී සහ ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය තිච් ක්වාං තන් ස්වාමීන් වහන්සේ සහ නියෝජ්‍ය මහ ලේකම් අතිපූජ්‍ය තිච් ජියාක් හොං ස්වාමීන් වහන්සේ ද මෙම උත්සවයේ දී වියට්නාම් බෞද්ධ විශ්වවිද්‍යාලය නියෝජනය කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනොයි

2021 ජූනි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close