ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා මීළඟ සංචාරක ගමනාන්තය ලෙස මෙල්බර්න් හි දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා මීළඟ සංචාරක ගමනාන්තය ලෙස මෙල්බර්න් හි දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය (17) දින පැවති වෙබිනාර් සමුළුවේ දී ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන ලෙස ආරාධනා කළ අතර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයින් අතර ප්‍රවර්ධනය කරන ලෙස වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්තවල සංචාරක ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියාය. පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින් වෙනුවෙන් ලිහිල් කරන ලද කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල ව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම දැන් වඩාත් පහසු බව සභාපතිනිය එහි දී ප්‍රකාශ කළාය. ඒ අනුව සම්පුර්ණයෙන්ම එන්නත්කරණයට ලක් වූ සංචාරකයින් සඳහා පීසීආර් පරීක්ෂණ ලබා දීමට හෝ නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගුවන් තොටුපළෙන් පිටවී සිය ගමන් මාර්ගයට අනුව රටේ ඕනෑම ප්‍රදේශයකට යාම සඳහා අවකාශ ලබා දී ඇති බවත් එහි දී සඳහන් කෙරිණි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත සංචාරකයින් හට https://www.srilanka.travel/helloagain/ මාර්ගගත පිවිසුම ඔස්සේ සංචාර පිළිබඳ සියලු තොරතුරු එක් ස්ථානයක සිට ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇති බව සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි ප්‍රවර්ධන අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විසින් පිරිනමනු ලබන සුවිශේෂී වූ විවිධාකාරයේ සංචාරක නිෂ්පාදන ගණනාවක් ඉදිරිපත් කළේ ය.

මෙල්බර්න් හි පිහිටි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කාර්යාලයේ කළමණාකරු එස්. පී. මොහාන් මහතා විසින් ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවාව මඟින් පිරිනමනු ලබන නිෂ්පාදන ඉදිරිපත් කරන ලදී. කොළඹ සිට මෙල්බර්න් දක්වාත්, කොළඹ සිට සිඩ්නි දක්වාත් සෘජු ගුවන් ගමන්වාර සංඛ්‍යාව දැනටමත් අදාළ සෑම ගමනාන්තයකටම සතියකට තුනක් දක්වා වැඩි කර ඇති අතර වැඩිවන මගීන් සංඛ්‍යාවට අනුව ගමන්වාර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර ඇති සංචාරක උපදේශන මට්ටම පහත හෙළමින් ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව වෙත පැමිණීම සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කර ඇති බැවින් මෙම කාලය සංචාරක ක්‍රියාකරුවන් හට ඕස්ට්‍රේලියානු සංචාරක වෙළඳපළ තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට හොඳම කාලවකවානුව වන බව කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මැතිතුමා ප්‍රකාශ කළේය. මේ වන විටත් ඕස්ට්‍රේලියානු සංචාරකයින් කොන්සල් ජනරාල් කාර්යාලය හරහා දින අනූවක සංචාරක වීසා සඳහා අයදුම් කිරීම ආරම්භ කර ඇති අතර සංචාරය සඳහා අවසර ලබාගැනීමේ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පිවිසුම වනwww.eta.gov.lk හරහා සංචාරකයින්ට දින තිහක වීසා බලපත්‍ර ලබා ගත හැකියාව පවතී.

ශ්‍රී ලංකා හෝටල් තුළ ක්‍රියාවට නංවා ඇති කොවිඩ් ආරක්ෂණ විධිවිධාන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ (THASL) සභාපති සනත් උක්වත්ත මහතා මනා පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් සහිත මෙම හෝටල් මගින් වඩාත් සුරක්ෂිත සේවාවක් සපයන බවට සහතික විය. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) හි විධායක කමිටු සාමාජික චරිත් ද අල්විස් සහ සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංගමයේ (ASMET) හිටපු සභාපති රොහාන් අබේවික්‍රම යන මහත්වරු ද මෙම වෙබිනාර් සමුළුව ඇමතූහ.

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ තස්මේනියා යන ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල සංචාරක ක්‍රියාකරුවන් සහ ශ්‍රී ලාංකීය ප්‍රජා මාධ්‍ය සහෝදරත්වය මෙන් ම ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සංසදයේ සභාපතිනී ඩිල්කි පෙරේරා මහත්මිය ඇතුළු සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙල්බර්න් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, මෙල්බර්න් හි පිහිටි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සංසදය සමඟ එක් ව මෙම වෙබිනාර් සමුළුව සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2021 නොවැම්බර් මස 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close