මෙරට සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනස්සල්ල පළ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස්වරයා කැඳවයි

මෙරට සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනස්සල්ල පළ කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස්වරයා කැඳවයි

කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස් ඩැනියෙල් බූඩ් මහත‍ා අද  ( ජනවාරි 11) දින විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා,  ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙකුට එරෙහි පදනම් විරහිත චෝදනා මත කැනේඩියානු  රජය නිවේදනය කළ ඒකමතික සම්බාධක සම්බන්ධයෙන් මෙරට රජයේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කළේ ය.

කැනඩාවේ දේශපාලන පාර්ශ්ව එල්ල කරන බලපෑම් මත කැනේඩියානු රජය ගනු ලබන  මෙවැනි ඒකමතික ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් සපයන බවත්, විශේෂයෙන්ම ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය අතිශයින් වැදගත් වන මොහොතක එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට හානියක් එල්ල කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය. කැනඩාව විසින් නිකුත් කරන ලද නිවේදනය හේතුවෙන්  මෙරට ජාතික සමගිය, ප්‍රතිසන්ධානය සහ ස්ථාවරත්වය වෙනුවෙන් රජය ගෙන යන අඛණ්ඩ උත්සාහයට අහිතකර බලපෑම් එල්ල වන  බවද මෙහිදී අවධාරණය කෙරිණි.

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සහ සංවර්ධන හවුල්කාරිත්වය සැලකිල්ලට ගනිමින්, ඉහත තීරණය සමාලෝචනය කර, ශ්‍රී ලංකාව සමඟ ඵලදායීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා වැඩබලන මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජනවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close