ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් අතථ්‍ය අයුරින් පවත්වන ලද හමුවක් මගින් සිය  ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සමාලෝචනය කරයි

ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් අතථ්‍ය අයුරින් පවත්වන ලද හමුවක් මගින් සිය  ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සමාලෝචනය කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අතථ්‍ය අයුරින් ඵලදායී  සංවාදයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රි සහ DSAS හි සභාපති වන නිකොලා ප්‍රොකචිනි මහතා විසින් මෙම නියෝජිත පිරිස් සඳහා නායකත්වය ලබා දෙන ලදී. 2017 නොවැම්බර් මස මෙම පාර්ලිමේන්තු දෙක අතර අවසන් වරට භෞතික අයුරින් කොළඹ දී පවත්වන ලද හමුවෙන් පසුව පවත්වන ලද පළමු අථත්‍ය හමුව මෙය විය.

ශ්‍රී ලංකා-යුරෝපා සංගම් හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, මානුෂීය ආධාර සැපයීම ඇතුළුව වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය ප්‍රකෘතිමත්භාවය කරා ගෙන ඒමේ ක්‍රියාවලියේ දී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දක්වන නොසැලෙන සහයෝගය පැසසුවේ ය. පැරිස් සමාජයේ සාමාජිකයන් දැක්වූ සහය සහ සහයෝගිතාව අගය කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවත්වන සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම යනාදිය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් දැනුම්වත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ඇතුළුව දූෂණ විරෝධී පියවර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම (TRC) සඳහා සුදුසු ආකෘතියක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම, ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීම සමඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම සහ එය ප්‍රතිස්ථාපනය කිරීම හා සබැඳි ක්‍රියාවලිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින රැඳවියන් නිදහස් කිරීම සහ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ සමස්ත ප්‍රගතිය ආදිය පිළිබඳව ශ්‍රී ලංකාවේ දැකගත හැකි  මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙම පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැනුම්වත් කළේ ය.

ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය යටතේ පවතින බහු ආංශික තේමාත්මක සහයෝගිතාව සහ යුරෝපා සංගමයේ බහු වාර්ෂික දර්ශක වැඩසටහන (MIP) යටතේ හිමි වන  සහය පිළිබඳව සඳහන් කළ යුරෝපා සංගමයේ සම සභාපති නිකොලා ප්‍රොකචිනි මහතා,  යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය පැසසුවේ ය. ශ්‍රී ලංකාවට සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වූ යුරෝපා සංගමය, යුරෝපා සංගමයේ ජීඑස්පී+ (GSP Plus) ක්‍රමය හරහා ශ්‍රී ලංකාව ලද ප්‍රතිලාභ මෙන්ම රටේ අනුකූලතා ක්‍රියාවලිය පිළිබඳව ද සඳහන් කළේ ය. මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන බැවින්, ශ්‍රී ලංකාවේ අපනයනවලට යුරෝපා සංගම් වෙළෙඳපොළට පිවිසීමේ දී අවැසි තීරුබදු රහිත ප්‍රවේශය සලසන ජීඑස්පී+ සහනය පිළිබඳව රජය දක්වන ගැඹුරු ඇගයීම පිළිබඳව සඳහන්  කළේ ය.

ඉන්දියානු සාගරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමය පවත්වන පුළුල් සබඳතාව, දේශගුණික ක්‍රියාකාරකම් හා සබැඳි සහයෝගිතාව, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ වසංගතය තුළින් එල්ල වූ අසමාන බලපෑම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්වල බලශක්තිය, පොහොර සහ ආහාරවල මිල ඉහල යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු සිය මැදිහත්වීම් අතරතුර, යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාව සමඟ පවත්වන සහයෝගිතාව හා සබැඳි විවිධ පැතිකඩ සිය පැසසුමට ලක් කළහ. විශේෂයෙන්ම වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ යුරෝපා සංගමයේ ජීඑස්පී+ පහසුකම ශ්‍රී ලංකාවට වැදගත් වන ආකාරය ඔවුහු මෙහිදී අවධාරණය කළහ. මෙහිදී සිය අදහස් පළ කළ පාර්ලිමේන්තුවේ කාන්තා බල මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරියක්, බිම් මට්ටමේ සිට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඇඟලුම් සහ අනෙකුත් ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීම සඳහා ජීඑස්පී+ වැඩපිළිවෙළ ලබා දී ඇති දායකත්වය  පිළිබඳව පෙන්වා දුන්නා ය. ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සඳහා යුරෝපා සංගමයේ රටවල් දක්වන දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ විවිධ මැදිහත්වීම් මෙන්ම ඔවුහු මෙහිදී  සිදු කළ අවංක අදහස් හුවමාරුව යුරෝපා සංගමයේ සම සභාපතිවරයාගේ පැසසුමට ලක්විය. තවද, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තු අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන හවුල් කැපවීම දෙපාර්ශ්වය විසින් යළිදු අවධාරණය කෙරිණි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඇතුළුව ශ්‍රී ලංකා රජය සහ විරුද්ධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහනව දෙනෙකු (19), එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), සමගි ජන බලවේගය (SJB), ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ) යන පක්ෂවල නියෝජිතයෝ මෙම අතථ්‍ය රැස්වීම සඳහා සහභාගී වූහ. යුරෝපීය පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කමිටුව (INTA) නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී මැක්සිමිලියන් ක්‍රාහ් මැතිතුමා, යුරෝපා සංගමය නියෝජනය කරමින්  මෙම මැදිහත්වීම්වල නිරත වූ පිරිසට ඇතුළත් විය. යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියානු අංශයේ ප්‍රධානියා ද මෙහිදී සිය අදහස් පළ කළේ ය.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරු, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 22 වැනි දින​

Print Friendly, PDF & Email
Please follow and like us:

Close