ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනී

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වූ ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා 2022 ඔක්තෝබර් 27 වැනි දින ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තේ ය. පසුගිය වසර 70 මුළුල්ලේ දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා මධ්‍යයේ ජපානය සඳහා පත් වූ දහඅටවැනි ශ්‍රී ලංකා තානාපතිවරයා වන්නේ එතුමා ය.

ජපානයේ බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් සහ ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගම් නියෝජනය කරන ආගමික නායකයන් අභිනවයෙන් පත් වූ තානාපතිවරයාට ආශිර්වාද පැතූහ. ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, සවාරා ලංකාජී විහාරයේ විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි විහාරයේ සහ ඉන්දියාවේ සාංචි චෙට්ටියාගිරි විහාරයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන්ද්‍රයන් සහ උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක හා හචියෝජි හි සකමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් මෙහිදී දේශන පැවැත්වූ හ.

ඔසාකා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් යූ. අලුත්ගමගේ මහතා, ඔටාරු හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කෙන් යමෂිටා මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ජපානය සඳහා වූ මෙරට කළමණාකාර ඉඳුනිල් විජේකෝන් මහතා ඇතුළුව, ජපානය තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව හා සබැඳි සියලුම සංගම්වල නියෝජිතයන් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සුභ පතන්නන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී කෙටි මැදිහත්වීම් සිදු කළහ.

රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති පෙරේරා මැතිතුමා, දූත මණ්ඩල නිලධාරීන් සම්බන්ධ වී කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කළ අතර, ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම මගින් හිමිවන ප්‍රතිලාභ පිළිබඳව ද සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෑතක දී සිය ජපාන සංචාරය අතරතුර ප්‍රකාශ කළ පරිදි, කාලානුරූපී වූත් බහුවිධ අන්‍යෝන්‍ය වාසි ගෙනදෙන්නා වූත් මෙම හවුල්කාරිත්වයේ පූර්ණ ශක්‍යතා සාක්ෂාත් කරගැනීම සඳහා දෙරට අතර පවතින සබඳතා යළි ගොඩනැංවීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද තානාපතිවරයා මෙහිදී පැහැදිලි කළේ ය.

ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටට බලපාන ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ඒකාබද්ධව ආමන්ත්‍රණය කළ හැකි බවද එතුමා විස්තර කළේ ය.

1951 වර්ෂයේ පැවති සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සිදු කළ කතාව පිළිබඳව සඳහන් කළ තානාපතිවරයා, ජපානයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමේ අවශ්‍යතාව සහ ඔවුන් සිය රට ගොඩනැගූ ආකාරය අනුගමනය කිරීමේ වැදගත්කමත්, ජපානය සිය ආර්ථිකය වත්මන් තත්ත්වයට ගෙන ඒම සඳහා නව තාක්‍ෂණය සහ නවෝත්පාදනවලට ඉඩ දුන් ආකාරයත් පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තීරණාත්මක අවස්ථාවේදී ජපානයට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය පිළිබඳව ආවර්ජනය කළ තානාපතිවරයා, 2015 වර්ෂයේ දී දෙරටම එකඟතාවකට ප්‍රවේශ වූ සමවබෝධිත හවුල්කාරිත්වය සහ ජපානය සැලකිය යුතු මූල්‍ය සම්පත් ප්‍රමාණයක් නොමසුරුව කැප සිදු කර ඇති ව්‍යාපෘති රැසක් පිළිබඳව සිහිපත් කළේ ය. ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලීය ආර්ථික සහයෝගය බලමුලු ගැන්වූ Tokyo Donor Conference- 2003 සමුළුව පිළිබඳව ද එතුමා මෙහිදී සිහිපත් කළේ ය.

රටේ වෙළඳ ධාරිතාව සහ ආදායම වැඩි කිරීම සඳහා අවශ්‍ය විදේශ මුදල් උත්පාදනය සඳහා පවතින නව්‍ය ක්‍රම සොයා ගැනීමේ අරමුණින්, නිදහස් වෙළඳ ගිවිසුම් වැනි ගිවිසුම් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, දකුණු ආසියාවට සහ අග්නිදිග ආසියාවට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව ආදිය තුළින් ප්‍රාග්ධනය උපයාගැනීමේ අවශ්‍යතාව ද එතුමා මෙහිදී අවධාරණය කළේ ය. ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා නිෂ්පාදනවල විවිධත්වය පවත්වාගැනීමේ වැදගත්කම සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා ජපන් ව්‍යාපාර සමඟ සහයෝගීතාව පැවැත්වීමේ වැදගත්කම මෙන්ම, ශක්‍යතා සහිත සැපයුම් දාම සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ බැංකු ක්ෂේත්‍රවල ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය ද එතුමා සඳහන් කළේ ය. ජපන් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රවර්ධනය කිරීම සහ ජපානය ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා දී ඇති රැකියා අවස්ථා පූර්ණ ලෙස භාවිතා කිරීම, ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කඩිනම් ප්‍රමුඛතාවයන් වේ.

සංස්කෘතික හා අධ්‍යාපනික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව සඳහන් කළ තානාපති පෙරේරා මැතිතුමා, පර්යේෂණ ක්‍රියාකාරකම් සහ ශිෂ්‍ය හුවමාරු ඉහළ නැංවීම සඳහා සංස්කෘතික, අධ්‍යාපනික හා ආගමික ආයතන සමඟ පවත්නා සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කළේ ය. ධීවර හා ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදියුණු වීම සඳහා ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් පවතින බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. ජපානය පුරා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමයක් ලෙස, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා පොදු ලක්ෂණ සෙවීමට සහ ජපානයේ එක් එක් ප්‍රාන්ත සතු ශක්‍යතා අවබෝධ කරගැනීම සඳහා ප්‍රාන්ත ආණ්ඩු 47 සමඟ සම්බන්ධ වීම ඉහළ නැංවීම යන කරුණු එතුමා විසින් යෝජනා කරන ලදී. ජපානය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව පිළිබඳ නැවුම් මුහුණුවරක් නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී විග්‍රහ කෙරිණි.

තානාපති ඊ. රොඩ්නි ඒම්. පෙරේරා මැතිතුමා වෘත්තීය අධ්‍යාපනය, ගෝලීය සංචාර, දේශන පැවැත්වීම සහ ලෝකයේ සෙසු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පැවැත්වීම සඳහා අන්තර්ක්‍රියා පැවැත්වීම සම්බන්ධයෙන් දශක හතරක අත්දැකීම් සතු නිලධාරියෙකි. ලෝකයේ සෑම කලාපයකම කටයුතු කර, පර්යේෂණ සිදු කර ඇති එතුමාට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් අද්විතීය ගෝලීය දැක්මක් ඇත. ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයෙකු වන තානාපති පෙරේරා මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති අතර දේශපාලන කටයුතු, රාජ්‍ය, සංස්කෘතික හා ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ පරිපාලනය මෙන්ම, ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සම්බන්ධ වෙමින් විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා සබැඳි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් අධීක්‍ෂණය කර ඇත.

විදේශ රාජ්‍යතාන්ත්‍රික සේවයේ පළමු සේවා අවස්ථාව වශයෙන් එතුමා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ඉන් අනතුරුව, එතුමා නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ පළමු ලේකම් ලෙස සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් මෙන්ම, ඉතාලියේ, නෝර්වේ සහ බෙල්ජියමේ (යුරෝපා සංගමය ද ඇතුළත් ය) ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද සේවය කළේ ය. එතුමා අවසන් වරට 2020 වර්ෂයේ අවසානය තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සේවය කළේ ය. එතුමා පසුගිය වසර දෙක තුළ, ප්‍රාග් ඓතිහාසික යුගය, දේශපාලන හා සංස්කෘතික ඉතිහාසය සහ පුරාතනයේ සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා විකාශනය වූ ආකාරය ඇතුළත් පර්යේෂණ ව්‍යාපෘති මෙහෙයවී ය.

තානාපති පෙරේරා මැතිතුමා කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳ ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා ඇත. පසුව එතුමා නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේ ය. එතුමා පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close