වසංගතයෙන් මිදීමට දකුණු දකුණු සහයෝගීතාව අලුත් කරන්නැයි අගමැති ඉල්ලයි

වසංගතයෙන් මිදීමට දකුණු දකුණු සහයෝගීතාව අලුත් කරන්නැයි අගමැති ඉල්ලයි

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රවේශය අනුව, වසංගතයෙන් මිදීම සඳහා “දකුණු-දකුණු” සහයෝගීතාව අලුත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (යුනෙස්කැප්) 77 වැනි සැසිවාරයේ සමාරම්භක උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ කලාපීය සහයෝගීතාවය තුළින් අර්බුදවලින් යහපත් ලෙස ගොඩ නැගීම’ යන තේමාව යටතේ අදහස් දක්වමින් මේ බව කීවේය.

වසංගත කාලවල දී පවා ආර්ථික හා අපනයන අංශය අඛණ්ඩ ලෙස ක්‍රියාත්මක වන බවත්, සංචාරක ව්‍යාපාරය ජනවාරි මස සිට නැවත ආරම්භ වූ බවත්, මහ බැංකුව ප්‍රතිපත්තිමය අනුපාත අඩු කළ අතර, සහනදායී ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකාවේ දී ක්‍රියාත්මක කළ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටින බවත්, මේ සඳහා තිරසාර සංවර්ධනය හා තිරසාර සංවර්ධන කවුන්සිලය පිළිබඳ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇති අතර, 2021 සිට 2030 දක්වා දශකය ශ්‍රී ලංකාවේ ‘නිපුණතා සංවර්ධනයේ දශකය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සැසිවාරය අතරතුර දී, ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කරමින්, “සමස්ත රාජ්‍ය හා සමස්ත සමාජයේ” ප්‍රවේශය, “පූර්වගාමී උපාය” සහ “පරිණත මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය” හේතුවෙන්, වසංගතයේ වේගය අවම කර ගැනීමට සහ මරණ අනුපාතය ඉහළ සුවපත් වීමේ අනුපාතයට සාපේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වූ බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය. මේ දක්වා රටවල් 120 කට අධික සංඛ්‍යාවක සිට අතරමං වූ ශ්‍රී ලාංකිකයන් එක් ලක්ෂ තිස්දහසක් දෙනා සිය රට වෙත ගෙන එන ලද අතර, විශේෂයෙන් සංක්‍රමණික සේවකයන් සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව නොමිලයේ නිරෝධායන පහසුකම් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන නම්‍යශීලී, සියල්ල ඇතුළත් සහ තිරසාර සංවර්ධන මාවත්වලට අනුව, ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථික ශක්තියෙන් සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් සඳහා අර්බුදවලින් පසු වඩා හොඳ තත්වයක් ගොඩනඟා ගැනීම සඳහා වන මාවත සුමට කිරීම පිණිස ආයෝජන, වැඩි වෙළඳපල ප්‍රවේශය සහ වෙළඳ අවස්ථා, විදේශ රැකියා අවස්ථා සහ එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා සහාය යනාදිය සලසා දෙන ලෙස විදේශ ලේකම්වරයා ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු කරමින්, ඉන්දුනීසියාව, ජපානය, මාලදිවයින, පකිස්ථානය සහ වියට්නාමය සමඟ එක්ව, සාමාජික රටවල සියලු සමාන උත්සාහයන් සඳහා සහයෝගය දැක්වීම පිණිස “ආසියාවේ සහ පැසිෆික් කලාපයේ අර්බුදවලින් යහපත් තත්ත්වයක් ගොඩනඟා ගැනීම සඳහා කලාපීය සහයෝගීතාවය” යන තේමාව යටතේ තායිලන්තය විසින් ඉදිරිපත් කරන ලද සහ කොමිසම මඟින් සම්මත කරනු ලැබූ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීය.

මෙම සිව් දින මාර්ගගත සැසිවාරය සඳහා සාමාජික රටවල් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර,ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, ඉන්දුනීසියාව, කිරිබටි, කිර්ගිස් ජනරජය, මාෂල් දූපත්, මොන්ගෝලියාව, ටජිකිස්තානය, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ෆීජි, පාකිස්ථානය, තායිලන්තය, ටුවාලු සහ උස්බෙකිස්තානය යන රාජ්‍යවල/රජයන්හි ප්‍රධානීන් 77 වැනි සැසියේ සමාරම්භක උත්සවය ඇමතීය.

එක්සත් ජාතීන්ගේ උප මහලේකම් සහ යුනෙස්කැප් හි විධායක ලේකම් ආමිඩා සල්සියා අලිස්ජබානා මහත්මිය, “අප යථා තත්ත්වයට පත්වෙද්දී, අපගේ ප්‍රයත්න ආසියා සහ පැසිෆික් කලාපයේ අවම සංවර්ධිත රටවල්, ගොඩබිමෙන් වට වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් ඇතුළු සියලු රටවල අභිලාෂයන් සැලකිල්ලට ගත යුතුය. වෙන කවරදාකටත් වඩා, සියල්ල ඇතුළත් සහ ජාලගත බහුපාර්ශ්වීයතාවයේ පූර්ණ විභවය භාවිතයට ගත යුතුය. දකුණු-දකුණු සහ ත්‍රිකෝණාකාර සහයෝගීතාව ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් උපයෝගී කර ගත යුතුය.” යයි අවධාරණය කළාය..

යුනෙස්කැප් සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති සී.ඒ. චාමින්දා අයි. කොලොන්නේ මැතිනිය, තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, විදේශ අමාත්‍යාංශයේ, මහ බැංකුවේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවරයට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සහ යුනෙස්කැප් සඳහා නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්

2021 මැයි 03වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close