ගුවැංදොන් පළාතේ ආයෝජකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කෙරේ.

ගුවැංදොන් පළාතේ ආයෝජකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, ප්‍රධාන වෙළඳපොළවල් සඳහා වන ප්‍රවේශය, දක්ෂ ශ්‍රම බලකාය සහ ආයෝජන ආරක්ෂාව ඇතුළු දැනට පවතින ආකර්ශණීය සාධකවලින් ප්‍රයෝජන ගනිමින්,  ගුවැංදොන් පළාතේ විශාල හා කුඩා සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා සමාන ලෙස පොළඹවා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ඉක්ත් අප්‍රෙල් 29 දා පැවැත්විණ. ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින්, ගුවැන්දොන් වාණිජ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව පැවැති මෙම වෙබිනාර් සාකච්ඡාවට ගුවැංදොන් පළාතේ සමාගම් 95 ක් හා ඊට අදාළ රජයේ ආයතනවලින් පුද්ගලයින් 130 දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.

වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර වෙනම පැවති රැස්වීමක දී, ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෂාඕ චිං මහතා සමඟ සුළු වේලාවකට හමුවී, ගුවැංදොන් පළාත සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන පිළිබඳ තවදුරටත් සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජන වෙබිනාර් සාකච්ඡාව ඒ සඳහා ඉවහල් වන බව දෙපාර්ශ්වයම පිළිගෙන තිබේ.

වෙබිනාර් සාකච්ඡාවේ දී, කොන්සල් ජනරාල් ධර්මසේන මහත්මිය සිය කතාවේ දී ගුවැංදොන් පළාත චීනයේ පොහොසත් පළාතක්, නිෂ්පාදන මධ්‍යස්ථානයක්, දළ දේශීය නිෂ්පාදිතයේ චීනයේ අංක 01 ස්ථානය සහ විදුලි සංදේශ, ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, විදුලිබල සැපයුම, විද්‍යාව හා තාක්‍ෂණය ඇතුළු ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත සඳහා නිවහනක් වන බවත්, විශේෂයෙන් ෆෝචූන් 500 සමාගම් අතර ලැයිස්තුගත කර ඇති ව්‍යවසායන් 14 ක් ඊට ඇතුළත් වන බවත් සඳහන් කළාය.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා කෙටි කතාවකින් අනතුරුව නිෂ්පාදන අංශයේ පවතින ආයෝජන අවස්ථා, එනම් ඖෂධ, ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික උපාංග, රබර් නිෂ්පාදන සහ මෝටර් රථ අමතර කොටස් පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළේය. විදේශ ආයෝජන සඳහා ලබා දී ඇති දිරිගැන්වීම්, ආයෝජන වාතාවරණය සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ වාසි ද සභාපති මොහොට්ටාල මහතා ඉදිරිපත් කළේය.

ගුවැංදොන් වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෂාඕ මහතා ද දේශනයක් පැවැත්වූ අතර, ඔහුගේ දෙපාර්තමේන්තුව ‘ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිකිරීම් සඳහා සහභාගී වීම සහ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් තත්ත්වයේ සේවාවන් සැපයීම පිණිස ගුවැංදොන් හි ව්‍යයවසායන් සඳහා සම්බන්ධතාවයක් ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය සහ ගුවැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ අදහස් හුවමාරුව සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.” යයි එහි දී ඔහු පැවසීය.

ගොතන ලද රෙදිපිළි සඳහා ආයෝජනය කළ සාර්ථක චීන ආයෝජකයෙකුගේ සහ ඇමරිකානු ආයෝජකයෙකු විසින් ධාවන බෝට්ටු සඳහා රුවල් නිෂ්පාදනය කිරීම පිළිබඳ සාක්ෂි දරන වීඩියෝ දර්ශන දෙකක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවේ පවතින හිතකර ආයෝජන පරිසරය පිළිබඳ විශ්වාසයක් ඇති කරන ලදී.

වෙබිනාර් සාකච්ඡාව අවසානයේ දී ඉදිකිරීම්, ධීවර කටයුතු සහ අධ්‍යාපනය යන අංශවලට අදාළ විමසුම්වලින් සමන්විත වූ ප්‍රශ්නෝත්තර සැසියක් පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා විසින්  පිළිතුරු සපයන ලදී.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
ගුවැන්ෂු

2021 මැයි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close