වසංගතයෙන් පසුව පැමිණෙන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා කොළඹ  ක්‍රමය ශක්ති ප්‍රභවයකි- විදේශ අමාත්‍යතුමා

වසංගතයෙන් පසුව පැමිණෙන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා කොළඹ  ක්‍රමය ශක්ති ප්‍රභවයකි- විදේශ අමාත්‍යතුමා

අගෝස්තු 11 දා පැවති කොළඹ ක්‍රමයේ 47 වැනි උපදේශක කාරක සභා රැස්වීමේ ආරම්භක සැසිය අමතමින්, ලෝකයේ සාමාජික රටවල් වසංගතයෙන් අනතුරුව පැමිණෙන අභියෝග සමඟ පොරබදමින් සිටිය දී, කොළඹ ක්‍රමය තුළ පවතින සමාජ ආර්ථික සංවර්ධන වැඩ කටයුතු හා පළපුරුද්ද ඒ සඳහා ශක්තියක් වනු ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පැවසීය. ගෝලීය දේශගුණය අනුව සමාජ හා ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වන බැවින්, කොළඹ ක්‍රමයේ සාමාජික රටවල් දැනට පවතින සහයෝගිතාවය මත ගොඩනැගිය යුතු වන අතර, නව අභියෝගාත්මක ගෝලීය පරිසරයක් තුළ සහයෝගීතාව සඳහා නව මංපෙත් පිළිබඳව සොයා බැලිය යුතුය.

සංවිධානවල සාර්ථකත්‍වය රඳා පවතින්නේ සියළුම සාමාජික රටවල කැපවීම, දායකත්වය සහ අර්ථවත් ක්‍රියාවන් මත බව සිහිපත් කරමින්, සැම දෙනාගේම සමෘද්ධිය සඳහා වන ගවේෂණයේ දී සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් සඳහා අර්ථවත් වැඩ සටහන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා කොළඹ ක්‍රමයට සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස අමාත්‍යවරයා දියුණු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ පාරිසරික ප්‍රතිපත්තිය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘හරිත හා සුහුරු’ නගර පිළිබඳ දැක්මට අනුව, තිරසාර හරිත නගර ගොඩනැගීම සඳහා වූ කොළඹ ක්‍රමය තුළ වැඩ සටහන් ප්‍රවර්‍ධනය කිරීම සඳහා නායකත්වය ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුටු වන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නිවේදනය කළේය.

ගෝලීය වශයෙන් කාලීන මාතෘකාවක් වන වේගවත් නාගරීකරණය සහ තිරසාර නගරවල අවශ්‍යතාවය සහ හරිත අවකාශයන් වැඩි කිරීම පිළිබඳව කතා කරමින්, තාක්‍ෂණික වශයෙන් වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ දුප්පත් ජාතීන්ට වේගවත් නාගරීකරණය බලපාන බව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පැවසීය. තිරසාර නගර ගොඩනැගීම සඳහා ආයෝජනයක් අවශ්‍ය වන හෙයින්, ධාරිතා වර්‍ධනය, හරිත තාක්‍ෂණය, බලශක්ති හා යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය සහ තිරසාර හා විශ්වාසදායක රාජ්‍ය සේවාවන් දියුණු කිරීම වැනි ආධාර තුළින් රටවලට සහයෝගය දැක්විය යුතු බව එතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගෝලීය පරිසරවේදී මහාචාර්ය රනිල් සේනානායක මහතා හරිත පරිසර සාකච්ඡාවල දී, පාරිසරික දායකත්වය සහ කැපවීම පෙන්නුම් කළ ජාතීන්ගේ මූල්‍ය ණය පියවා ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිලාභ ලබා දීම පිණිස යෝජනා කළ, සුසමාදර්ශය වෙනස් කිරීම පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා උපුටා දැක්වීය.

මානව හිමිකම් සංවර්ධනයේ වැදගත්කම සහ දකුණු-දකුණු සහයෝගීතාව හඳුනා ගනිමින්, ජාත්‍යන්තර සහයෝගීතාවයේ මුල්ම ප්‍රයත්නය ලෙස කොළඹ ක්‍රමය ඉතිහාස ගත වී ඇති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සිය පිළිගැනීමේ කතාවේ දී සිහිපත් කළේය. ලෝක ජනගහනයෙන් 40% ක පමණ ජනගහනයක් සහ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 37 ක් පමණ ඇති ආර්ථික කණ්ඩායමක් වශයෙන් අද කොළඹ ක්‍රමයේ පවතින වැදගත්කම පිළිබඳව ඔහු සඳහන් කළේය.

සැසිවාරය ඇමතූ කොළඹ ක්‍රමයේ මහලේකම් තානාපති ෆාන් කියෙව් තු, කොළඹ ක්‍රමය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ අනෙකුත් සාමාජික රටවල් විසින් ලබා දුන් දායකත්වය ඇගයීය.

කොළඹ ක්‍රමය ආරම්භ වීමෙන් පසු පස්වැනි වරටත්, වසර විස්සකට පසු ප්‍රථම වතාවටත් මෙම දෙදින 47 වැනි උපදේශක කාරක සභා රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම උපදේශක කාරක සභා රැස්වීමේ මුලසුන දැරූ අතර, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ආර්ථික කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ. හේරත් මහතා, ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සහ වැඩබලන ආර්ථික කටයුතු අධ්‍යක්ෂ අහමඩ් රසී මහතා යන අයගෙන් සමන්විත විය.

ශ්‍රී ලංකාව 1950 දශකයේ කොළඹ දී පැවති විදේශ කටයුතු පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී සහයෝගිතා ප්‍රයත්නයක් වශයෙන් මූලාරම්භය සිදු වූ කොළඹ ක්‍රමයේ ආරම්භක සාමාජිකයෙකි. 1951 දී ආරම්භ කරන ලද එහි ආරම්භක සාමාජික රටවල් හතේ සිට 2021 දී විසිහතක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය වසර 70 ක කාලය තුළ දී මෙම සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොළඹ ය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 11

Print Friendly, PDF & Email
Please follow and like us:

Close