කොළඹ ක්‍රමය 47 වැනි උපදේශක කාරක සභා රැස්වීම සමාරම්භක දේශනය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා

කොළඹ ක්‍රමය 47 වැනි උපදේශක කාරක සභා රැස්වීම සමාරම්භක දේශනය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා

සභාපතිතුමනි, ගරු අමාත්‍යවරුනි, 46 වැනි උපදේශක කාරක සභා රැස්වීමේ සභාපතිතුමනි, නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීවරුනි, කොළඹ ක්‍රමය මහලේකම්තුමනි, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතවරුනි, විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ මහතාණෙනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, මිත්‍රවරුනි,

අතථ්‍ය ලෙස වුවත්, ඔබ සැම සමඟ මෙහි සිටීම සතුටට කරුණක් වන අතර, මෙම කාලසීමාවේ දී පවතින අතිවිශාල අභියෝග පිළිබඳව නොතකා අප සමඟ එක් වීමට කාලය වෙන් කිරීම පිළිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙමි. මෙය කොළඹ ක්‍රමයේ අරමුණ ඉදිරියට ගෙන යාම සඳහා ඔබ දක්වන කැපවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. ආර්ථික හා සමාජ සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ගෝලීය දේශගුණයට විසින් අපේක්ෂා කරන බැවින්, අද සහ හෙට දිනවල අපගේ හමුවීම කාලෝචිත වේ. අපේ සාමූහික ශක්තිය පවතින්නේ ගෝලීය ජනගහනයෙන් 40% ක් පමණ වාසය කරන ‍සහ දළ දේශීය නිෂ්පාදිතය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 37 ක් ලෙස පවතින මෙහි වන බවත්, අපට අපගේ ප්‍රබෝධය හා ජවය ලබා ගත හැක්කේ සහ ලබා ගත යුත්තේ ද මෙතැනින්ම බවත් මම විශ්වාස කරමි.

1950 වසරේ ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු පිළිබඳ සමුළුවේ දී කොළඹ ක්‍රමය පිළිබඳ බීජය උපත ලද අතර, දිවංගත ලංකාවේ (ශ්‍රී ලංකා) අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු ඩී.ඇස්. සේනානායක මැතිතුමා මුලසුන දරමින්, ආරම්භක සාමාජික රටවල් හතක් (ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ලංකාව (ශ්‍රී ලංකාව), ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය) සමඟ 1951 ජූලි 1 දින ආරම්භ කරන ලද මෙම සංවිධානයට අයත් සාමාජික සංඛ්‍යාව දැන් 27 ක් වේ.

අද සහ හෙට පැවැත්වෙන අපගේ සාකච්ඡා, පශ්චාත් කොවිඩ් යුගය තුළ කොළඹ ක්‍රමයේ සංවර්ධන සහයෝගිතා මාවත හැඩ ගැස්වීම සම්බන්ධයෙන් වැදගත් වේ. අපගේ සාමූහික ප්‍රතිලාභය උදෙසා නව්‍ය හා ප්‍රයෝජනවත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස දැනුම හුවමාරු කර ගැනීම, නවෝත්පාදන සහ සහයෝගීතාව සඳහා මෙම උපදේශක කාරක සභා රැස්වීම වඩාත් ඵලදායි වේදිකාවක් වනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.

ඉදිරි වසර දෙක තුළ දී, අපේ රජයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තිය වන සෞභාග්‍යයේ දැක්ම තුළ ‘හරිත හා සුහුරු’ නගර පිළිබඳ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම අනුව, තිරසාර හරිත නගර තැනීම සහ හරිත අවකාශයන් වැඩි කිරීම යන කාලෝචිත මාතෘකා සඳහා කොළඹ ක්‍රමය තුළ නායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙයි.

කොවිඩ්-19 වසංගතය මඟින් අනපේක්ෂිත අභියෝග රාශියක් හඳුන්වා දී තිබේ. මෙම වසංගතයෙන් විවිධ ආකාරයෙන් පීඩා විඳින අපේ සෙසු සාමාජික රටවල සහ ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව වෙත අපගේ සිතුවිලි සහ ප්‍රාර්ථනා ගලා යයි. වසංගතයට සහ එහි දුරදිග යන බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා දරන ඔවුන්ගේ නොපසුබට උත්සාහය පිළිබඳව අපගේ සෙසු සාමාජික රටවලට ප්‍රශංසා කළ යුතුය. කෙතරම් කුඩා හෝ නොවැදගත් ලෙස පෙනී ගියද, ලෝකයේ එක් කෙළවරක සිදුවන වර්ධනයන් සෙසු ලෝකය කෙරෙහි බහුගුණ බලපෑමක් ඇති කරන බව ගෝලීය අන්තර් සම්බන්ධතාවය මඟින් සහතික කොට ඇත. මෙම වසංගතය විසින් අපට උගන්වන ලද යමක් වේ නම්, ඒ අප එක ලෙස මේ තත්ත්වය තුළ සිටින බව සහ මෙම වසංගතය ජය ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවක් වශයෙන් එක්වීමට සිදු වන බවයි. එබැවින් ජාත්‍යන්තර සහයෝගිතාවය වෙන කවරදාටත් වඩා අද වැදගත් වන අතර, මෙම සන්දර්භය තුළ කොළඹ ක්‍රමය වෙත වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. සෞඛ්‍යය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ මානව සම්පත් ද ඇතුළත්ව, සමාජ-ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ අපගේ සංවිධානයේ කටයුතු සහ පළපුරුද්ද, පශ්චාත් වසංගත ලෝකයේ අභියෝග සමඟ පොරබැදීම සඳහා ශක්තියක් වනු ඇත. පවත්නා සහයෝගීතාව මත අපි එක්ව ගොඩනැඟිය යුතු වන අතර, නව හා අභියෝගාත්මක ගෝලීය පරිසරයක් තුළ සමාජ ආර්ථික සංවර්‍ධනය සඳහා කටයුතු කිරීම පිණිස නව මංපෙත් ගවේෂණය කළ යුතු වේ.

අපගේ සංවිධානයේ අරමුණ පිළිබඳ සාර්ථකත්වය, සියළුම සාමාජික රටවල කැපවීම, දායකත්වය සහ අර්ථවත් ක්‍රියාවන් මත රඳා පවතී. නමුත් රටවල පවතින සන්දර්භමය අභියෝග සහ පුද්ගල යථාර්ථයන් හේතුවෙන්, එම රටවල දායකත්වය පූර්ණ ධාරිතාවයෙන් ලබා දීමෙන් වැළකී යා හැකිය. සංවිධානයේ මුලපිරීම් සහ වැඩ සටහන් සඳහා අවශ්‍ය අරමුදල් හා අනෙකුත් සම්පත් ලබා ගැනීමේ දී මෙය අභියෝගයක් වී තිබේ. මෙම බාධාව නිසා සංවිධානයට පූර්ණ හැකියාවකින් යුතුව එහි සාමාජිකත්‍වයට සේවය ලබා දීම සඳහා බාධා එල්ල වී ඇති බවට ශ්‍රී ලංකාව කනස්සල්ලට පත්ව සිටී. එය සියලු දෙනාටම හවුලේ සමෘද්ධිය සහතික කරමින් සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් සඳහා අර්ථවත් වැඩ සටහන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහ වැඩිදියුණු කිරීමට ඉඩ සලසනු ඇති බැවින්, කොළඹ ක්‍රමය සඳහා අඛණ්ඩව සිය වටිනා සහයෝගය ලබා දෙන ලෙස දියුණු සාමාජික රටවලින් ඉල්ලීමට අපි කැමැත්තෙමු.

මෙම අභියෝගාත්මක අවධිය හරහා අප ගමන් කරන විට අංගසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වන ලේකම් කාර්යාලයක් ද ඉතාමත් වැදගත් වේ. මෙම ලේකම් කාර්යාලය සහ සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රධාන වේ. වසංගතය අප කිසිවෙකුත් අත් නොහැර සියල්ලන් කෙරෙහිම බලපා ඇත. අපගේ ජාත්‍යන්තර මිතුරන් හා හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව ශක්තිමත් එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටු වේ. ඔබ අතුරින් බොහෝ දෙනෙක් ඔබේ යුතුකම් ඉටු කිරීම සඳහා රැඳී සිටීමට තීරණය කිරීම පිළිබඳව අපි සතුටු වෙමු.

තිරසාර හරිත නගර: හරිත අවකාශයන් වැඩි කිරීම පිළිබඳ මාතෘකාව ස්පර්ශ කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට මට අවසර දෙන්න. අප පෙරවරුවේ අපගේ රටේ තේමා පත්‍රය ඉදිරිපත් කරන විට ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.

හරිත අවකාශයන් වැඩි කිරීම, ඇත්තෙන්ම නගරවල වෘක්ෂලතා ගහනය වැඩි කිරීමට, හරිත නගර ඇති කිරීමට සහ අනාගත පරපුර සඳහා ඒවායේ තිරසාරභාවය ශක්තිමත් කිරීමට දායක වේ. 14 වැනි සියවසේ අග්නිදිග ආසියානු නගරවල පැවති ලාංකීය නිර්‍මාණශීලීත්වයෙන් ආභාෂය ලත් භූමි අලංකරණ වෙනස්කම්, අපේ අභිලාෂයන් සහ අපේ ඉදිරි ගමන වැනි සුවිශේෂතා පිළිබඳව අපේ රටේ තේමා පත්‍රය මඟින් බෙදා හදා ගනු ඇතැයි මම විශ්වාස කරමි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගෝලීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝලීය නාගරික ජනගහනය 2007 දී ග්‍රාමීය ජනගහනය අභිබවා යමින්, අප නාගරික සහශ්‍රය ලෙස හඳුන්වන කරුණ සනිටුහන් කළේය. නාගරීකරණය එනම්, නගර සහ නාගරික ප්‍රදේශ වෙත මිනිසුන් සංක්‍රමණය වීම, පසුගිය වසර 200 ට අයත් සංසිද්ධියකි. මානව ඉතිහාසයේ වැඩි කොටසක් තුළ දී මිනිසුන් ජීවත් වූයේ අඩු ජනගහනයක් සහිත ග්‍රාමීය ප්‍රදේශවල ය. 2050 වසර වන විට ගෝලීය ජනගහනය බිලියන 9.8 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කොට ඇත. එම ජනගහනයෙන් තුනෙන් දෙකක් - බිලියන 7 කට ආසන්න ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනු ඇත.

මෙම ගැටලුව සහ ගෝලීය සංවර්ධන ප්‍රයත්නයන් සමඟ එහි පවත්නා සම්බන්ධතාවය, තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය තුළ පවතින ඒකීය ඉලක්කය එනම්, තිරසාර සංවර්ධන ඉලක්ක අංක 11: සියල්ල ඇතුළත්, ආරක්‍ෂිත, ඔරොත්තු දෙන සහ තිරසාර නගර ඇතිකිරීම සඳහා මඟ පෑදීය.

නාගරික ප්‍රදේශ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 කට පමණ දායක වන අතර, එම ප්‍රදේශ ආර්ථිකයේ ගාමක බලවේග බවට පත් වී ඇත. එමෙන්ම, ඔවුන් ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට 70 ක් පමණ දායක වෙමින් එමඟින් වායු දූෂණය නරක අතට හැරීමත්, වැඩිවන නාගරික ජනගහනය මඟින් යටිතල පහසුකම් මත අධික බරක් පැටවීමත් සිදුවන අතර, පොදු සේවාවන් හා සීමිත සම්පත් මත වැඩි පීඩනයක් යොදවමින් සම්පත්වලින්  සියයට 60 ක් ද භාවිත කරයි. ශීඝ්‍ර සහ සැලසුම් රහිත නාගරීකරණය පරිසරය පිරිහීමට හා හරිත අවකාශ හැකිලී යාමට ද හේතු වේ.

පරිසරය, ජනගහනයේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙත කෙරෙන අහිතකර බලපෑම් පිළිබඳව වහාම පියවර ගත යුතු වන අතර, සොබාදහම වෙත ප්‍රවේශ වීම ප්‍රවර්‍ධනය කිරීම, පරිසර දූෂණය අවම කිරීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් අවම කිරීම සහ තිරසාර ජීවන රටාවන් ප්‍රවර්‍ධනය කිරීම සඳහා නව ප්‍රවේශයන් අවශ්‍ය වේ. වසංගතය හේතුවෙන් ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල තත්වයේ බරපතලකම ඉහළ ගොස් ඇති අතර, සොබාදහමට සහ විවෘත අවකාශයට ප්‍රවේශ වීමේ වැදගත්කම අවධාරණය කොට ඇත.

වේගවත් නාගරීකරණය සමඟ පොරබදීම ගෝලීය අවශ්‍යතාවයක් වන අතර, තාක්‍ෂණික අඩුපාඩු සම්පූර්ණ කිරීමේ නියැලී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ දුප්පත් ජාතීන් කෙරෙහි එහි බලපෑම පිළිබඳ බරපතලකම වැඩි වශයෙන් දැනෙයි. තිරසාර නගර ගොඩනැගීම සඳහා ආයෝජන අවශ්‍යය. එම නිසා, ධාරිතාව ඉහළ නැංවීම, හරිත තාක්‍ෂණය, බලශක්තිය හා යටිතල පහසුකම් ලබා ගැනීම සහ තිරසාර හා විශ්වාසදායක නිවාස, විදුලිය, ජලය, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හා පොදු ප්‍රවාහනය යනාදී පොදු සේවාවන් සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා මෙම රටවලට ආධාර සහ සම්පත් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෝලීය පරිසරවේදියෙකු වන මහාචාර්ය රනිල් සේනානායක මහතා හරිත පරිසර දේශගුණය පිළිබඳ සාකච්ඡාවේ දී සුසමාදර්ශයේ වෙනසක් කිරීමට යෝජනා කරයි. ඔහුගේ අවබෝධය නම්, අප ආශ්වාස කරන වාතය සැබවින්ම අපිරිසිදු කරන්නේ නාගරික අංශය විසින් වන බවයි. මෝටර් රථයක, බස් රථයක, දුම්රියක, ගුවන් යානයක, කර්මාන්ත ශාලාවක හෝ විදුලි ජනක යන්ත්‍රයක එන්ජිමක් දහනය වන සෑම අවස්ථාවක දී ම ඔක්සිජන් දැවී යයි. මෙම ඔක්සිජන් නැවත හඳුන්වා දීම සිදු කරනුයේ අපේ ග්‍රාමීය හරිත ප්‍රදේශ විසින් පමණි. මේ අනුව අපගේ අවධානය ද ඔක්සිජන් කෙරෙහි යොමු විය යුතුය.

එක්සත් ජාතීන් විසින් දේශගුණය පිළිබඳව අනතුරු හැඟවීම් කරන විට, ධනාත්මක පාරිසරික දායකත්වයක් සහ කැපවීමක් පෙන්නුම් කළ රටවල් අප විසින් හඳුනා ගනු ලැබීම වැදගත් ය. එම රටවල මූල්‍ය ණය හෝ දුෂ්කරතා පියවා ගැනීම සඳහා ධනාත්මක ප්‍රතිලාභයක් ලෙස පිළිගැනීමක් ලබා දිය යුතුය. ඔවුන්ගේ දායකත්‍වයට හා කැපවීමට ස්තූති වන්නට, ලෝකය වන අපි තවමත් හුස්ම ගනිමින් සිටිමු.

මේ සම්බන්ධයෙන්, කෙටි කාල සීමාවන් තුළ අළුත් කර ප්‍රතිස්ථාපනය කෙරෙන වේගවත් තාක්‍ෂණික නවෝත්පාදනයන් - ක්‍රමවේදයන් තුළ, තරුණ තරුණියන් අතර සිදුවන පරම්පරාමය වෙනස්වීම්වල ප්‍රවණතා පිළිබඳව සිහියේ තබා ගැනීම වැදගත් වේ.

අපේ කාලයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට උත්සාහ දරමින් අපේ කලාපයේ සමාජ හා ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන මෙම සංවිධානයේ වර්ධනය සඳහා සහය වීමට අපි කැපවී සිටිමු.

ඔබ සැමගේ දින දෙකක සාකච්ජා හා විචාරණය ඵලදායී වන ලෙස ප්‍රාර්ථනය කරමි.

ස්තුතියි!

Print Friendly, PDF & Email
Please follow and like us:

Close