"ලොව නිල් මැණික් අගනුවරට පැමිණ සංචාරයේ නිරත වන්න" - ෂැංහයි නුවර පැවති  CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

 “ලොව නිල් මැණික් අගනුවරට පැමිණ සංචාරයේ නිරත වන්න” – ෂැංහයි නුවර පැවති  CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

 

2022 නොවැම්බර් 10 වැනි දින පැවති CIIE ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාව සතු අතිවිශිෂ්ට මැණික් සම්පතෙන් මැණිකක් මිලදී ගැනීමේ සිහිනය තෘප්තිමත් කරගැනීම සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාව සතු අසමසම සහ අද්විතීය සංචාරක ආකර්ෂණයන් නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස මෙම අවස්ථාවට සහභාගීවූවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

රජවරුන්, රැජිණියන් සහ කුමාරිකාවන් වර්තමානයේදී ද  ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට මැණික් පළඳින බවත්, විශාල ප්‍රමාණයේ මැණික් කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් එතුමා මෙහිදී සඳහන් කළේ ය.

වැඩිදුර අදහස් පළ කළ එතුමා, ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් මුළුල්ලේ වටිනා වර්ණවත් ගල් වර්ග රාශියක් නිෂ්පාදනය කර ඇති අතර, එම කර්තව්‍ය අඛණ්ඩව සිදු කරමින් සිටින බව සඳහන් කළේ ය. තවද,  අපගේ මාතෘභූමිය ඉන් විඩාවට පත්ව නොමැත. එබැවින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාව ලොව නිල් මැණික් අගනුවර ලෙස පිළිගැනීමට පාත්‍ර වී ඇත.

මෙම අවස්ථාවට රජයේ නියාමන ආයතනවල නියෝජිතයින් සහ ෂැංහයි මැණික් හා ජේඩ් හුවමාරු ආයතනය ඇතුළු චීන මැණික් කර්මාන්තයේ විශාල පිරිසක් සහභාගී වූහ. ෂැංහයි මහජන රජයේ ෂූ ගයියු මහතා,  සන්නාම සංවර්ධනය පිළිබඳ චීන කවුන්සිලයේ සභාපති ලියූ පින්ග්ජුන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ දේශකයන් අතරට ඇතුළත් වූහ. නීල පුස්තක පිළිබඳව අදහස් දැක්වූ  පොදු ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ  සභාපති ගයිටානෝ කැවලියේරි මහතා, වර්ණ ගල් සංගමයේ සභාපති ක්ලෙමන්ට් සබාග් මහතා සහ ආසියාන් මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපතිවරයා මීට සහභාගී වූ ජාත්‍යන්තර දේශකයන් අතරට ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 නොවැම්බර් 15 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close