තානාපති සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වියැන්ටියැන්හි දී ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

තානාපති සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වියැන්ටියැන්හි දී ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස, 2022 නොවැම්බර් 10 වැනි දින, වියැන්ටියැන් හි ජාතික සභාවේ දී ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ  ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූවා ය.

බැංකොක් හෝ හැනෝයි හි සිට සමගාමීව අක්ත ගන්වන ලද මෙක්සිකෝව, කටාර්, ඉතාලිය, ඇල්ජීරියාව, ඊශ්‍රායලය, නෝර්වේ, මාලදිවයින, ස්පාඤ්ඤය, ඉරානය, ලක්සම්බර්ග්, බහරේනය, බෙල්ජියම, වෙනිසියුලාව, ඔස්ට්‍රියාව යන රටවලින් අභිනවයෙන් පත් වූ තානාපතිවරු 14 දෙනෙකු ද තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සමඟින් ජනාධිපති සිසොලිත් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ හ.

අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් උණුසුම් ලෙස පිළිගෙන සුබපැතුම් පළ කළ ජනාධිපති සිසොලිත් මැතිතුමා, සියලු රාජ්‍යනායකයින්ට උණුසුම් ශුභාශිංසන පිරිනැමූ අතර, ලාඕ ජනරජය වෙත ඔවුන් ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළේ ය.  තවද, තිරසාර සංවර්ධන ඉලක්ක ආශ්‍රිතව තම රට ලබා ඇති ජයග්‍රහණ විස්තර කළ එතුමා, අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් ලාඕ ජනරජය සමඟ පවත්නා සබඳතා, මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කළේ ය.

තානාපති කොළොන්නේ මැතිනිය ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් ලාඕ ජනාධිපති සිසොලිත් මැතිතුමා වෙත පිරිනැමූ අතර, බෞද්ධ ආගමික සාරධර්ම මත පදනම්ව ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය සමඟ මෙරට සබඳතා තහවුරු කරන බවට ද සහතික වූවා ය. තවද එතුමිය මෙරට සංචාරයක නිරත  වන ලෙස ජනාධිපති සිසොලිත් මැතිතුමා වෙත ඇරයුම් කළා ය. ජනාධිපති සිසොලිත් මැතිතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අවංක සුබපැතුම් පළ කළ අතර, එතුමා මින් පෙර ශ්‍රී ලංකාවේ සිදු කළ  සංචාරය පිළිබඳව ද සිහිපත් කළේ ය.

දේශපාලන, සමාජ-සංස්කෘතික, වෙළඳ, ආර්ථික, ආයෝජන හා සංචාරක ව්‍යාපාරය   ආදී ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර පවතින සබඳතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ පුද්ගලාන්තර සබදතා ඉහළ නැංවීම සඳහා  තානාපති කොළොන්නේ මැතිනිය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  ෆොක්සේ කයකම්ෆිතෝන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මනොතොන්ග් වොන්ග්සේ සහ තොරතුරු, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ෆොසි කියෝමනිවොං යන මහත්වරු සමඟ ද ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

තානාපතිනිය සන්ධාන කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇම්ෆේ කින්ඩවොන්ග්, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියානු පැසිෆික් සහ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විරෝත් සුන්දර යන මහත්වරු හමුවූවා ය. තවද එතුමිය, ලාඕ ජාතික වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සයබන්දිත් රස්ෆෝන්, ජාතික සංවර්ධනය සඳහා වූ ලාඕ පෙරමුණේ අධ්‍යක්ෂ ජනරාල් බෞන්තවි ෆොනතසින් සහ  ලාඕ සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ සභාපති සොම්ෆොන්ග් දෙවියන්ග්සේ යන මහත්වරු  සමඟ ද සාකච්ඡා පැවැත්වූවා ය. ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ  ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මනිලේ තිෆලන්සි මහතා තානාපතිනිය වියැන්ටියැන් හි රැඳී සිටි කාලය තුළ එතුමියට අවශ්‍ය පහසුකම් සැලසී ය.

තානාපති චාමින්දා කළොන්නේ මැතිනිය මධ්‍යම බෞද්ධ සහයෝගීතා සංවිධානයේ සභාපති අතිපූජ්‍ය මහාබෝන්මා සිම්මාෆෝම් හිමිපාණන්, සිසාකෙට් විහාරස්ථානයේ නායක හිමි වන පූජ්‍ය මහවෙට් මසේනායි හිමිපාණන්, මධ්‍යම බෞද්ධ සහයෝගීතා සංවිධානයේ උප සභාපති සහ ලාඕ හි ඔන්ග්ටු විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන අතිපූජ්‍ය ෆුවාංග්ෆසර්ඩ් ෆෞමවොන්ග් හිමිපාණන් බැහැදැකීමට ද ගියා ය. අභිනවයෙන් පත් වූ තානාපතිනිය වෙත සෙත් පැතූ උන්වහන්සේලා, ශ්‍රී ලංකා-ලාඕ බෞද්ධ හා ආගමික සබඳතා තහවුරු කිරීම සඳහා කැපවන බව තහවුරු කළහ. තානාපතිනිය වියැන්ටියැන් හි පිහිටි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලයේ දී ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජීවත් වන  සහ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවූවා ය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 නොවැම්බර් 15 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close