මියන්මාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනෙකුට මියන්මාර රජය සමාව දෙයි

මියන්මාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනෙකුට මියන්මාර රජය සමාව දෙයි

මියන්මාරය තුළ සිර භාරයට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනෙකුට, මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහද ද්වීපාර්ශ්වික සබඳතා, මානුෂීය හේතූන් සහ මියන්මාර එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම යනාදිය සැලකිල්ලට ගනිමින්, මියන්මාර සමූහාණ්ඩුව විසින් සමාව දෙන ලදී.

ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනෙකු රැගත් “තුෂාන් පුතා” IMUL-A-0741NBO නමැති ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රාව, මියන්මාර මුහුදු සීමාව ආක්‍රමණය කළ බැවින්, 2021 දෙසැම්බර් 3 වැනි දින මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. යාත්‍රාවේ නායකයාට වසර හතක සිර දඬුවමක් නියම වූ අතර කාර්ය මණ්ඩලයට වසර පහක සිර දඬුවමක් නියම විය.

යැන්ගොන් හි ඉන්සයින් බන්ධනාගාරයේ රඳවා තැබූ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසට අවශ්‍ය කොන්සියුලර් සහය ලබා දීමේ කටයුතු, විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය සහිතව සම්බන්ධීකරණය කොට පහසුකම් සලසන ලදී.

අනිවාර්ය පීසීආර් (PCR) පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව, මෙම ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර රජය සමඟ සම්බන්ධීකරණයෙන් 2022 මාර්තු 06 වැනි දින මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 02වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close