විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සමගාමීව සාකච්ඡා කිහිපයක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සමගාමීව සාකච්ඡා කිහිපයක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ නායකත්වය සහිතව  මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස, 2022 මාර්තු 1 වැනි දින පකිස්තානය, පලස්තීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රටවල නියෝජිත පිරිස් හමුවිය.

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇති බව, විදේශ කටයුතු අමාත්‍යවරයා පලස්තීනයේ විදේශ අමාත්‍ය රිසාඩ් අල් මලිකි මැතිතුමා සමඟ පවත්වන ලද සාකච්ඡාව අතරතුර දී සඳහන් කළේ ය. පලස්තීනය ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිත්‍රයකු බව සඳහන් කළ එතුමා, දෙරට අතර පවත්නා සමීප සහ සුහද සබඳතා පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේ ය. ජාත්‍යන්තර සංසඳවල දී ශ්‍රී ලංකාව දක්වන දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය පිළිබඳව ද පලස්තීන විදේශ අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය. අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී මානව හිමිකම් සන්දර්භය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා පකිස්තානයේ මානව හිමිකම් පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ශිරීන් එම් මසාරි මැතිතුමා සමඟ පවත්වන ලද සාකච්ඡාව අතරතුර දී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අධ්‍යාපනය, සංස්කෘතිය සහ වෙළෙඳාම යනාදී අංශ ආවරණය වන දීර්ඝකාලීන සහ ස්ථිර මිත්‍රත්වය හා බහුවිධ සබඳතා පිළිබඳව අගය කළේ ය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සම්බන්ධ වීම පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළ අතර, පකිස්තානය  ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවංක ප්‍රසාදය පළ කළේ ය. මානව හිමිකම් සන්දර්භය හමුවේ ක්‍රියාත්මක කෙරෙන දේශීය ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ පකිස්තාන ෆෙඩරල් අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය. සංචාරක ක්ෂේත්‍රය හා සබැඳි   ශ්‍රී ලංකාවේ මුලපිරීම් ද එතුමා අගය කළේ ය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ දූත පිරිස දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනිය සමඟ ද ඵලදායී හමුවක් පැවැත්වූ අතර, එහිදී සංහිඳියාව සහ එකමුතුකම උදෙසා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ පරිශ්‍රමය සහ සත්‍ය සොයා යාම හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව සතු හරවත් අත්දැකීම්වලින් ඉගෙනීම යනාදී කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගය කළ අතර, ප්‍රතිසන්ධාන කටයුතු සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දකුණු අප්‍රිකාව සූදානමින් සිටින බවද ප්‍රකාශ කළා ය.

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ඊජිප්තුවේ විදේශ කටයුතු, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු පිළිබඳ උප අමාත්‍ය ඛලීඩ් එල් බක්රි මැතිතුමා සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී අදහස් දැක්වූ ඊජිප්තු විදේශ අමාත්‍යවරයා, මීට පෙර දින පැවති මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ කොටස හමුවේ මහාචාර්ය පීරිස් මැතිතුමා ප්‍රකාශයට පත් කළ ස්ථාවරය පිළිබඳව තමන් අවබෝධයෙන් පසුවන බවද ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close