ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංශයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මැතිතුමා ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වේ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංශයට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මැතිතුමා ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වේ

2022 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංශයට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ ශ්‍රී ලංකා දූත පිරිස 2022 පෙබරවාරි 28 වන දින එක්සත් රාජධානිය, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීය.

එක්සත් රාජධානියේ දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා හමුවූ අවස්ථාවේ දී, විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාමේ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය මෙන්ම සමගිය සහ සහජීවනය පෝෂණය කිරීම සඳහා රජය දරන පුළුල් ප්‍රයත්න පිළිබඳව සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රයත්න අවබෝධ කර ගැනීමේ සහ පිළිගැනීමේ ඇති අවශ්‍යතාව අමාත්‍යතුමා අවධාරණය කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් බැරන්වරිය සමඟ පැවති හමුවේ දී අමාත්‍යතුමා ආර්ථික අංශය, සංචාරක ව්‍යාපාරය සහ වෘත්තීය පුහුණුව වැනි තරුණ තරුණියන් සඳහා වන අවස්ථා ඇතුළුව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාවේ පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී. නීල ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාර්ය භාරය පැසසුමට ලක් කළ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය, මෙම ක්ෂේත්‍රයෙහි නියැලීම වැඩිදියුණු කරන ලෙස ඉල්ලා සිටියාය.

අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ජිනීවාහි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ නිත්‍ය නිරීක්ෂක තානාපති නසිමා බග්ලි මැතිනිය සමඟ ද ඵලදායී හමුවක නිරත වූ අතර, එහිදී ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍ර සබඳතා, ශ්‍රී ලාංකීය සමාජයේ බහු වාර්ගික සහ බහු ආගමික ස්වභාවය, එහි මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබෙන සැලකිය යුතු දායකත්වය සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සම්බන්ධ කරුණු සාකච්ඡා කෙරිණි.

අමාත්‍යතුමා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO)  අධ්‍යක්ෂ ජනරාල් ඩැරන් ටැංග් මහතා සමඟ ද ඵලදායී හමුවක් පැවැත්වූ අතර, ප්‍රතිපත්ති සංවර්ධනය, ඩිජිටල්කරණය, භූගෝලීය දර්ශක සහ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා බුද්ධිමය දේපළ භාවිතය සම්බන්ධයෙන් තරුණයින් සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල බුද්ධිමය දේපළ පිළිබඳ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

අමාත්‍යවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු මස 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close